සුපුන් ගියා දිව්‍ය ලෝකෙ

ඕන් සුදාරකගේ ජීවන අත්දැකීම් එකතුවට තවත් දවසක් එකතු වුනා! දැන් ඒ එකතු වෙච්ච ජීවන අත්දැකීම බ්ලොග් සටහනක කොටන්නයි‍ මේ හදන්නේ. හැබෑටම මොකක්ද මේ දිව්‍යලෝකේ? ආ… ඒක මහ ‍ලොකු දෙයක් නෙවෙයි. සාහිත්‍ය මාසේ නිසා දැන් ව්‍යංගාර්ථයෙන් කතා කරන්න පුරුදු වෙලා! 😀 පසුගිය බ්ලොග් සටහන් එක්ක එකතු වෙලා හිටියානම් වැඩේ තේරෙන්න ඇති. ඔව්, ඔබ හරි! 😀 මම ගියා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඒකත් මරු රසවත් කතාවක් (මට). මගේ වෙබ් හෝස්ටින්ග් පාරිභෝගියන්ට පින් සිද්ධ වෙන්න එකතු කරගෙන හිටපු රුපියල් පන්දාහා ඊයේ පන්ති ගිහිල්ලා එද්දී ඇරගෙන ආවේ අද පොත් ප්‍රදර්ශනයට යන්නම සූදානම් වෙලයි. අද ඉස්කෝලෙත් ගොඩක් තියෙන්නේ ඩබල් පීරියඩ් නිසා පොත් බෑගයෙන් මහා පතරංග ජාතකේ ‍ව‍ගේ ලොකු අච්චු පොත් ටික කප්පාදු කරේ බෑග් එකේ ඉඩ ඇරගන්න. ඒක හොඳට ගියා. මොකෝ මට වෙන අයට වගේ පොත් උස්සන් එන්න ගෑනු ළමයි ඉන්න එකක්යැ 😉 . ම්… ඔන්න ඉතින් උදෙත් වුනා. මම කොහොමත් පාන්දර නැගිටින කෙනානේ. පාන්දර නැගිටින එක හොඳ පුරුද්දක් තමයි! ඒත් මම නම් පාන්දර නැගිටින්නේ හොඳ පුරුද්දක් අනුගමනය කරන්න ඕන නිසා නෙවෙයි 😀 මොකද උදේ පාන්දර නැගිටලා පිටත් වෙන්න බැරිවුනොත් අතර මඟදී ට්‍රැෆික් වලට අහුවුනොත් ඉස්කෝලේ ගිහිල්ලා හමාරයි! පොත් ප්‍රදර්ශනයට ඉතින් තනියම යන්න බෑනේ. කතා කරා මගේ අතිජාත නේවාසිකාගාර යාළුවෝ දෙන්නෙක්ට. හැබැයි ඒ අය නම් දැනටමත් පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ලා හිටපු නිසා පොඩි පගාවක් දෙන්න වුනා එක්ක ගෙන යන්න :D. ‍ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක වැදෙනකන් රජ (රාජකීය 😉 ) තුන් කට්ටුව හිටියේ ඉවසිල්ලක් නැතිව.

දුන්නෙන් විද්ද හීයක් වගේ මේ ලැරී… නෑ නෑ වැරදුනා 😀 . ඔන්න මුල ඉඳලා… දුන්නෙන් විද්ද හීයක් වගේ අපි තුන්දෙනා කෙලින්ම පිටත්වුනේ BMICH එකට. ම්… වෙනදා තරම් නම් කට්ටියක් අද පේන්න නම් හිටියේ නෑ. එක අතකට ඒක හොඳයි. නිදහසේ පොතක් තෝරතෑකි කියලා හිතාගෙන ඇතුල් වුනාට පස්සේ කොහෙන් පටන්ගෙන කො‍හෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බැරිව උහතෝකෝටික ප්‍රශ්නයකට තමයි මුහුන දෙන්න වුනේ. ඉතින් වෙළඳ කුටි තියෙන පිළිවෙළින් අපිත් ඇතුල් වුනා. හප්පේ… බලන්න එපැයි තියෙන පොත් කන්දරාව… පොත් වල සුවඳ දැනෙනකොට නිකන් කරකවලා අතඇරියා වගේ. මොකක් ගන්නද? මොකක් නොගන්නද කියලා හිතාගන්න බැරිවුනා. මෙවර රාජ්‍ය සම්මාන දිනූ නවකතාව වුන අටවක පුත්තු පොත ගන්නමයි ගියේ. ඒත් ‍පොතේ මිල දැක්කාම නම් අදහස ගැන විචිකිච්ජාවක් ඇතිවුනා. වැඩ පොත් වගයක් ගන්නත් තියෙන නිසා, සල්ලි ටික අරපරිස්ස‍මින් වියදම් කරන්න ඕන වුන නිසා, අටවක පුත්තු පොත එක පාරටම ගන්න හිතුනේ නැ. දෙවෙනි වටේදී ගන්නවා කියලා හිතලා ඒ පොත ගන්නවාද?, නැද්ද?, ගන්නවාද?, නැද්ද?  කියලා හිත හිත අනිත් ‍පොත් තෝරන්න ගත්තා. අරිසෙන් අහුබුදු ශූරි‍න්ගේ ඉර හඳ නැඟි රට පොත හෙව්වත් ඒකත් ‍හොයාගන්න බැරිවුනා. සමහර විට මඟ ඇරුනාද මන්දා. ඒ ව‍‍ගේම ගුණදාස අමරසේකර ශුරින්ගේ විල් තෙර මරණය පොතත් හොයාගන්න බැරි වෙච්ච එක තමයි දුක. පොත් ගන්න එක පටන් ගත්තේ භද්‍රජී මහින්ද ගුණතිලක‍ගේ පොතකින්. ඉර හඳ නැඟ රට පොත හොයාගන්න බැරි වෙච්ච නිසාම, ආයේ දෙපාරක් හිතන්නේ නැතිව “ශ්‍රී රාවණ්ණා පුවත – හෙළ යක් පරපුරේ කතාව” කියන පොතින් තමයි වැඩේ පටන්ගත්තේ. ඊට පස්සේ ඇවිදලා ඇවිදලා හොයාගත්තා “ප්‍රතිභා ප්‍රකාශණ” කුටිය. ඒ මොකටවත් නෙවෙයි, මං කැමතිම (මං හිතන්නේ මං විතරක් නෙවෙයි තව ගොඩක් අය කැමති ඇති) පරිවර්තකයාගේ පොත් ඇරගන්න. කොනන් ඩොයිල් විසින්ම ලිව්වේ නැති වුනත් ෂර්ලොක් හෝම්ස් නමට ආසා නිසාම චන්දන මෙන්ඩිස් විසින් රචිත හා පරිවර්තිත “ගින්දර සමඟ සෙල්ලම්” පොතයි, “ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කතා – 2 – සොඳුරු සිතුවම්” කියන පොතයි ඇරගත්තා. ඒ වගේම ප්‍රතිභා ප්‍රකාශකයන්ගෙන්ම ඇරගත්තා නැඟී එන නව කතා, කෙටි කතා රචක ලසිත රවීන් උමගිලියගේ අළුත් පොත් දෙකකුත්. ඔය විදිහට වටේම ඇවිදලා මාස්ටර් ගයිඩ් එකෙනුත් වැඩ ‍පොත් ටිකකුත් ඇරගත්තා.

මරු ආතල්ම වැඩේ වුනේ සතර ප්‍රකාශකයන්ගේ කුටියෙදී. එකොළහේ අපිට තියෙන අළුත් සිලබස් එක නිසා නන්නත්තාර වෙලා ඉන්න අපිට ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල අවශ්‍යතාව හුඟක්ම දැනිලා තිබ්බා. සතර කුටියේ ප්‍රධාන දැන්විම වෙලා තිබ්බෙත් අළුතෙන් සාමාන්‍ය පෙළට නිකුත් කරපු ආදර්ශ පොත් ටික ගැනමයි. විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොතේ අවශ්‍යතාවය මට විතරක් නෙවෙයි මගේ යාළුවෝ දෙන්නාටත් දැනිලා තිබ්බ නිසා ගිහිල්ලා මුලින්ම හෙව්වේ විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත. කෝ! මේක නෑනේ! අයියෝ! වැඩේ කියන්නේ, විද්‍යාව ‍ප්‍රශ්න පත්‍ර පොත විකිණිලා ඉවරයි. ඔන්න ඊට පස්සේ ආපහු සැරයක් අපි තුන්දෙනා දැන්වීම දිහා හැරිලා බැලුවේ දැන්වීමේ නියම අරුත තේරුම් ගන්න. දැන්වීමේ ඉන්නේ අපේ වයසේ සහෝදරියක් වෙන්න ඇති. එයා කවුරු වුනත් කමක් නෑ, විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත අල්ලගෙන අපේ දිහාට හිනාවෙලා බලාගෙන ඉන්නවා වගේ තමයි පෙනුනේ. ආ…! හරි…! වැඩේ තේරුනා… මෙයා අපිට බයිට් එකට තමයි එහෙනම් මේ හිනා වේගෙන කෝචෝක් පාර දාගෙන ඉන්නේ! එයා මෙන්න මෙහෙම කියනවා ඇති… කියලා අපි තුන්දෙනාටම එක පාර හිතිච්ච එක තමා පුදුමේ!! අපිටත් ඉතින් හරි හිනා!

හූ හූ…! අයියෝ චාටර් ‍නේ! මේ බලනවා ඕයි මට නම් විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත හම්බවුනා! තමුසෙලා මෙච්චර ගාටලා ගාටලත් පොත හොයාගන්න බැරිවුනානේ! හූ හූ අයියෝ බයිට්!

😀 😀

ඔන්න ඔහොමයි ඉතින් අද දවස ගෙවිලා ගියේ. පොත් අතරේ හිර වෙලා ඉඳලා එළියට ‍එන කොට තමයි ඔරලෝසුව බලන්න මතක් වුනේ! මලා! වෙලාව හතරා මාරා…යි!! එතන ඉඳලා අඩුගානේ පැය දෙකක් වත් යනවා ගෙදර එන්න. කකුලුත් රිදෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. කාර්යාල අරින වෙලාව නිසාත් බස් එකේ සීට් එකක් ලැබෙයිද කියලා දෙගිඩියාවන් ගියේ. ඇයි ආරක්ෂක තත්ත්වෙත් හොඳ නෑනේ. පොත් ටික කඳ මළු බැඳගෙන බස් එකේ හිටගෙන යන්න ‍බෑ නොවැ. හොඳ වෙලාවට එකම එක සිට් එකක් ඉතිරිවෙලා තිබ්බා වාසනාවට! ටිකෙන් ටික බස් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙච්ච විදිය දැක්කාම මට හිතුනේ මේ සීට් එක ලැබුනේ පෙර වාසනාවටයි කියලා. හැබැයි අන්තිමේ බස් එකෙන් බහින්න වුනේ වෙනදා බහින හෝල්ට් දෙකකුත් පහු කරලා. ඇඟිල්ලක් ගහන්න බෑ බස් එකේ සෙනඟ. ඇවිද්ද පය දහස්වටී කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙනම ඉතින් ගෙදරට සේන්දු වෙනකො‍ට නම් කාලා හමාරයි! පරක්කු වෙච්ච නිසා හොඳවයින් බැනුම් ඇහුවා. හැබැයි අම්මා සිංහල ගුරුවරියක් නිසා ගත්ත පොත් ටික පෙන්නලා යන්තම් ෂේප් කරගන්න පුළුවන් වෙච්ච එකත් පූරුවේ පිනක්. නැත්තන් ඇපත් නෑ!

😀 😀

දැන්නම් මාර මහන්සියි. සිදුවීම් ටික අමතක වෙන්න කලින් බ්ලොග් ‍එකේ ලියලා මම එහෙනම් නිදාගන්න යනවා. හෙට ඉස්කෝලේ යන්න උදෙන්ම නැගිටින්න එපැයි ඉතින් 😉 ආ… තව එකක්, කලින් සටහනට ප්‍රතිචාර ඉදිරිපත් කරපු හැමදෙනාටම බොහෝම ස්තූතියි…

Join the Conversation

12 Comments

  1. නියමයි කොල්ලො. මං මේ පාර එනවා කියලා හිතාගෙන හිටියට එන්න බැරිවුණා. ලබන පාරවත් එන්න ඕන. දැනට ඉතිං නුවරින්ම මොනවහරි ගන්න තමා වෙන්නෙ 😀

  2. යකෝ මේක හරි වැ‍ඩක් නේ මේකා මං හොයපු පොත්මයි හොයලා තියෙන්නේ…ශ්‍රී රාවණ පුවත මම හැමතැනම හෙව්වා…මට හම්බ උනේ නෑහැ 🙁 විල්තෙර මරණයත් සැහෙන්න ලොකු ගේමක් දිලා සිරිමාවෝ එකේ තිබ්බ ලේක්හවුස් කුටියෙන් හොයා ගත්තේ ඒකත් අන්තිම පොතද කොහෙද…..වැඩ පොත් නම් ඉතිං මම හොයන්නේ නැහැනේ…..ඒවා නැති උනු එක ගැන නම් කණගාටුයි…..
    ‍මහන්සි උනත් මොකෝ මල්ලි පොත් වෙනුවෙන් ඕන දෙයක් නැද්ද මං අහන්නේ? හිකිස්

  3. මම පහුගිය වතාවෙ ගත්තු පොත් තුනක් තවම කියෙව්වෙ නෑ. ඉතිං මම මේ වතාවෙ ගත්තෙ නෑ වැඩිය. එහෙම තමයි. කාර්ය බහුල වීම එක්ක කියවන්න තියෙන කාලය අවමයි දැන්. කොහොම නමුත් ක්ලා‍ක්ගෙ පුංචි පොත නම් ඉරිද දවසෙ කියෙව්වා.

    ඇත්තටම පොත් කියන්නෙ මමත් ස්වර්ගස්ථ කරන්නට සමත් දෙයක්. පොත් කඩ වලට විතරයි මට අවුලක් නැතිව යන්න පුළුවන්. මොකද මම පොත් අඳුණන නිසා. වතාවක් යාළුවෙක් කතා කලා ඇඳුම් කඩේකට යන්න. එතනම තිබුනා පොත් කඩයක්. මම කිව්වා “අනේ මම මේ පොත් ක‍ඩේට වෙලා ඉන්නම් ඕන තරම්. ඒත් ඇඳුම් කඩේට නම් යන්න බෑ” කියලා.. හික් හික්…

  4. නියමයි මල්ලී !හිනා ගිහින් තාම බඩ රිදෙනවා!!! දිගටම ලියන්න….

  5. අහ්.. මමත් ගත්ත නෙ චන්දන මෙන්ඩිස්‌ ගෙ ගින්දර සමග සෙල්ලම්.. හිතපු තරන් ගතියක්‌ නෑ හැබැයි.. හි හි.. එක දවසින් ප්‍රදර්ශනේ බලල ඉවර කොරන්න බැහැ.. අපහු යන්න හිතන් ඉන්නෙ සිකුරාදා..

  6. අලුත් ශෛලියකට ලියල තියෙනව. මරු.

    අපිත් ගියා පොත් ගන්න. නමුත් බලාපොරොත්තු වුනු පොත් නම් එකක් වත් තිබුන් ‍නෑ. ධනිෂ්කත් ඒ ගැන කියල තිබුන මතකනෙ.

    මම සිතන්නෙ පොත් ප්‍රදර්ශණය ඉවර වී මාසයකින් පමණ ගියෝතින් නම් අළුත් පොත් තියේවි. හැබැයි අඩුවට නම් ගන්න බැරි වේවි.

  7. ආ මේ ලියන විදිය නම් මරු.
    ‍පොත් ගන්න හිතාගෙන මමත් ගියේ නැතැ. අන්තිමට අළුත් පොත් බලල, අතගාලා පරණ පොත් කඩේකින් පොත් දෙක තුනකුත් අරගෙන එන්න ආවා. මොනවා කරන්නද, පොත් ගන්නම කියලා එකතු කරපු සල්ලි සතයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. අන්තිමට දැන් ගෙදර යන්නවත් සල්ලි නැතුවයි ඉන්නේ 🙂

  8. මාර පාර……..
    ලියල තියෙන ස්ටයිල් එකනම් හරිම ලස්සනයි.මමත් අයියත් එක්ක පොත් ප්‍රදර්ශනේට යන්නයි ඉන්නේ

  9. මුලින්ම කියල තියෙන්නේ මරු කතාවක්නේ
    මටත් තාම යන්න බැරි උනා යන්න ඔනි
    අලුත් පොතක් තියෙනවා ගන්න “මුස්ලිම් ලොකයේ සැගවුනු බුදු දහම” කියල වගේ තමයි මතක 😉

  10. මමත් ගියා ඕක බලන්න. හැබැයි මම යනකොට වෙලාව 8 විතර ඇති. ඒක නිසා හොදට පොත් බලන්න බැරි උනා. මමත් ඉතින් මම කැමතිම පොත ගත්තා. JAVA 6 Black Book! මම ඉතින් ඉස්කෝලෙ වැඩ වලට වැඩි කැමැත්තක් නැති නිසා ඕවගේ පොත් තමයි ගන්නෙ. හැබැයි අම්මයි තාත්තයි නම් මට අවුරුදු 10 විතර හරියන්න පොත් අරගත්තා 🙁

Leave a comment

Leave a Reply to නාගයා Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: