Categories
ජීවිතේ

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි. 🙂

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි! 😀 හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.

Categories
ජන මාධ්‍ය විවිධ

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම තවත් සුවිශේෂී කරුණක්. මෙම අවස්ථාව ‍කොළඹ රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තිෂ්‍ය වික්‍රමසිංහ විසින් පැමිණ සිටි පිරිස පිළිගත් අවස්ථාවයි මේ…

4332_1177407714986_1221911471_30517251_8101294_n1

කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිඳුන් මාධ්‍ය ඇමතූ අවස්ථාවයි මේ…

4332_1177408034994_1221911471_30517259_3669729_n1

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති ලක්පති විජේසේකර සොහොයුරා සභාව අමතමින් මෙහි අරමුණ හා ඉදිරිදැක්ම ප්‍රකාශ කළ අවස්ථාවයි මේ දැක්වෙන්නේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වෙනුවෙන් සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක (මම 😉 ), සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ ‍තොරතුරු හා පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබුවේ මේ ආකාරයටයි…

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන හා ජනමාධ්‍ය අංශයේ වැඩසහන් ප්‍රධානී, අතුල පුෂ්පකුමාර මහතා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙහි පූර්ණ අනුග්‍රාහකත්වය ලබාගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා… ඒ, මේ ආකාරයටයි…

ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමිය මාධ්‍ය ඇමතුවේ මේ ආකාරයෙන්.

4332_1177418315251_1221911471_30517333_4016627_n1

අවසාන වශයෙන් සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ලේකම් ලහිරු වික්‍රමසිංහ සොහොයුරා මාධ්‍ය අමතමින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම දෙනා වෙනුවෙන් තම ස්තූතිය පුදකරනු ලැබුවා.

4332_1177418515256_1221911471_30517338_3957330_n

මේ එම අනුග්‍රාහක චෙක්පත සංකේතාත්මකව ලබාදුන් අවස්ථාවයි…

හරි. ඒ ප්‍රධාන කතාව. දැන්…. අතුරු කතාව.
මේ කටයුත්ත පිටිපස්සේ තවත් බොහෝ පිරිසක් ඒක රාශී වෙලා සිටිනවා. දැනට බ්ලොග්කරණයේ නියැලෙන කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අන්ජු ජයතිලක, වරුණ ඉද්දමල්ගොඩ, කසුන් කපුරුබණ්ඩාර යන සොහොයුරන්ගෙන් මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. ඔවුන් නැතිනම් මෙම කටයුත්ත ඉතාමත් දුෂ්කර කාර්යයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලය තුල සිසුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන LE ROYALE නිදහස් මාධ්‍ය ඒකකයත් අමතක කළ ‍නොහැකි මාතෘකාවක්. සිසුන් සිය ස්වේච්ඡාවෙන් පාසලේ සිදුවන සියලුම කටයුතු සඳහා පුළුල් ප්‍රචාරණයක් අන්තර්ජාලය තුල ගෙනයමින් පවතිනවා. මෙය ඉතාමත් සුවිශේෂී, එමෙන්ම භාරදූර කාර්යයක්. වගකීමක්. මෙම අවස්ථාවත් ඔවුන්ගේ ආවරණයට ලක් කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අපගේ නොමඳ ස්තූතිය පුද කෙරෙන බව දැන්වීමට කැමතියි.

මෙයට අමතරව මෙම කටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය සපයන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය සුවිශේෂීයි. මේ සඳහා අවශ්‍ය කරන සියලූම තාක්ෂණික දැනුම, තාක්ෂණික පහසුකම් ලබාදෙමින් ඔවුන් ලබාදෙන සහයෝගය මෙම කටයුත්තේ සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත්. ඔවුන්ගේ ආයතනය අපට විවෘත කරමින් දින දෙකක් ඇතුලත ඉතාමත් ක්ෂණික සංවිධානය වු මෙම මාධ්‍ය සාකච්ඡාවට උපකාර කරමින් ඔවුන් දැක්වූ සහයෝගය අපට අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම ප්‍රියංක ආරියසුමන මහතා සහ ශාමෙන් පි‍ල්ලේ මෙනෙවිය මෙ‍හිදී අමතක කළ නොහැකි සුවිශේෂී චරිත දෙකක්. සෑම අවස්ථාවකම අපට උපදෙස්, පහසුකම් සපයමින් ඉතාමත් සුවි‍ශේෂී කාර්යභාරයක් ඉටු කරන ලද චරිත දෙකක් ඒ…

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ජුනි මස සිට අ‍ගෝස්තු මාසය දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනඒමට අප www.sahithya.lk වෙබ් අඩවිය හරහා සුදානමින් සිටින බව ඔබට මෙයින් දැනුම්දීමට කැමතියි. තරඟාවලිය පිළිබඳ තොරතුරු ඔබට ‍මේ හරහා ලබාගැනීමට හැකියි. අප මාධ්‍ය නිවේදනය ලබාගැනීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

සිංහල බ්ලොග්කරුවනි, සූදානමින් සිටින්න!
තරගාවලිය පිළිබඳ තොරතුරු www.sahithya.lk වෙබ් අඩවිය හරහා බලා පොරොත්තු වන්න.

ඩනිෂ්කගේ දින පොත – සාහිත්‍ය.lk

දෙබස – Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

Lakpathy’s Blog – Press Release