Categories
විචිත්‍ර විවිධ හින්දි චිත්‍රපටි

ඕම් ශාන්ති ඕම්

ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම මෙම චිත්‍රපටියට තමන්ගේ උපරිම රංග කුසලතාවය දායක කරමින් ඒ ඒ රූපරාමු වලට උචිත වන අන්දමින් අතිවිශිෂ්ට ද්විත්ව චරිත නිරූපනයක නියැලීමට මෙහි ප්‍රධාන චරිත හොබවන ෂාරුක් ඛාන් සමත් වී තිබෙනවා. සංගීතයක් ඉතා උසස් අන්දමින් චිත්‍රපටියට යොදා ඇති නමුත් චිත්‍රපටියේ අඩංගු ගීත නම් මට එච්චර හරි ගියේ නෑ. නමුත් චිත්‍රපටියේ සමහරක් ගීත නම් ඉතාමත් උසස් ඒ මොනවාදැයි ඔබම චිත්‍රපටිය නරඹා තීරණය කරනවා නම් වඩාත් හොඳයි. චිත්‍රපටියේ කතාව නම් මම ඔබට කියන්නේ නෑ මොකද මම කලින්ම කිව්වා වගේ ඔබම මෙම චිත්‍රපටිය නැරඹිය යුතුයි. මෙම චිත්‍රපටියේ ඇති සුවිශේෂම අවස්ථාව නම් මෙහි එන එක් සංගීතමය ජවනිකාවකට බොලිවුඩ් පුරයේ තරු රුසක්ම ආරාධිත රංගනයෙන් දායක වෙනවා. ඒ අතර සල්මාන් ඛාන්, සායිඩ් ඛාන්, සයිෆ් අලි ඛාන්, ප්‍රීති සින්ටා, රාණි මුඛර්ජි, විද්‍යා බාලන්, ප්‍රියංකා චොප්රා, උර්මිලා, ජුහී චව්ලා, කාජල් දේව්ගන් සමඟ තවත් බොහෝ දෙනෙක් සිටිනවා.ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ චිත්‍රපටියෙන් බොලිවුඩ් රංගනයට පිවිසෙන අළුත්ම නිළිය දීපිකා පාදුකෝන් ඉතා දක්ෂ අයුරින් තමන්ගේ කාර්යයේ නියැළෙන බව දැකීම ඉතාමත් සතුටක්. ඒත් දුක තමයි ලංකාවේ ආධුනික නිළියන් කාටවත් ඒ තරම් දක්ෂ ලෙස රංග‍නයේ නියැළීමට අපහසු වීම. (අනේ කවුරුවත් තරහා වෙන්නනම් එපා) කෙසේ වෙතත් ඇයද ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙම චිත්‍රපටියට තම දායකත්වය සපයනවා.

එමෙන්ම ඕම් ශ‍ාන්තී ඕම් චිත්‍රපටිය ප්‍රදර්ශනයට පැමිණ එක් සතියකින්ම ඉන්දියාවේ බොක්ස් ඔෆීස් වාර්තා කඩා බිඳ හෙලීමද විශේෂත්වයක්.
චිත්‍රපටිය ප්‍රදර්ශනයට පැමිණ පළමු සතිය තුළ ලැබූ ආදායම් වාර්තාව පහත දැක්වෙනවා
ඇමෙරිකාව – US$ 2,892,773
එක්සත් රාජධානිය – GB£ 518,845
ඕස්ට්‍රේලියාව – AU$188,784
(විකීපීඩියා ඇසුරෙනි)

එමෙන්ම මෙම චිත්‍රපටියට ලැබෙන විචාර ප්‍රතිචාරද ඉතාමත් ඉහළයි. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ මෙම චිත්‍රපටිය නැරඹීමට අසුන්ගත් විට නැවත නැගිටීමට සිදුවන්නේ චිත්‍රපටියේ අවසානයේ වන බවත්, මෙම චිත්‍රපටිය තුළ හාස්‍ය, ආදරය, භීතිය, ක්‍රියාදාම හා අද්භූත යන භාවයන් එකකට එකක් පරයන සේ අඩංගු වීමයි.

වැඩි විස්තර සඳහා…
විකීපිඩියා – http://en.wikipedia.org/wiki/Om_Shanti_Om
වෙබ් අඩවිය – http://www.omshantiomfilm.com
IMDB – http://www.imdb.com/title/tt1024943/


මෙම චිත්‍රපටිය ඔබත් නරඹන්න. එවිට ඔබට සමහරක් ආදර කතාවලට එක් ජීවිත කාලයක් මදි වන බව අනිවාර්යයෙන්ම හැ‍ඟෙනු ඇත