Categories
විවිධ

අවුරුදු හතරක කතාව.

පසුගිය ජනවාරි විසි එක්වෙනිදා වෙනකොට සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු හතරයි. එතකොට අවුරුදු හතරක් බ්ලොග් අවකාශයේ හිටියත් බ්ලොග් අඩවියට සාධාරණයක් ඉටුකරල තියෙනවාද කියන එක සැකයි අවුරුදු හතරකට ලියැවිලා තියෙන ලිපි ගාණ බැලුවාම. ඒත් අවුරුදු හතරක් ඇතුළත සෑහෙන්න දේවල් වෙනව වගේම අවුරුදු හතරකදි වයසින් වැඩි වියට පත්වෙනකොට එකතු වෙන වගකීම් එක්ක හිත එකලාසයක කරගෙන ලියන්න අපහසුකමකුත් තියෙනවා.

ලියන්න නම් කොච්චර දේවල් තියෙනවාද? පුද්ගලික විශ්ව විද්‍යාල ගැන, ආදරය ගැන සහ මොනවත්ම ලියන්න ඉතිරි නොවුනොත් කෙටි කතාවක් හෝ කවි වුනත් ලියන්න පුලුවන් නෙව. ඒ වුනාට මේ දවස්වල ඔළුව යකාගෙ කම්මල වගේ. පහුගිය අවුරුද්දෙ නොලිව්ව උසස් පෙළත්, උපාධියේ විභාග දෙකක්ම එකතු වෙලා තියෙන නිසා මොන? කොහේ ලියන්නද? ඒත් මාසෙකට එකක්වත් අඩුම තරමෙ ලියන්න උත්සාහ කරනවා. 🙂

සුදාරකගේ අන්තර්ජාල සටහන පටන්ගන්නෙ සුදාරක සාමාන්‍ය පෙළ කරන අවුරුද්දෙ. එතකොට සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ වෙලා තිබුන එකෙන් තමයි සිංහලෙන් ලියන සෑහෙන්න පිරිසක් අන්තර්ජාලයේ එකතු වෙන්නෙ. ඒ වෙනකොට අන්තර්ජාලයේ හිටපු අය අඳුනාගැනීමට ලැබීම ඉතාමත් සතුටක්. නම් කියාගෙන ගියොත් අන්තිමට මට මේ ලිවිල්ල පැත්තක තියන්න වෙනව.

කලින් සමහර ලිපි වල සඳහන් වෙනව වගේ සුදාරකගෙ අන්තර්ජාල සටහනට නම වැටුනෙ ඒ වෙනකොට අන්තර්ජාලයේ තිබුන අතලොස්සක් සිංහල බ්ලොග් අතරින් එකක් වුන මලින්තගේ සටහනේ නම කොටස් වලට කඩල. මලින්තගේ නම අයින් කරල අතරමැදට “අන්තර්ජාල” එකතු කරල. 🙂

ඔය අතරෙ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදය බිහිවෙන්නෙ සහ පළවෙනි සිංහල බ්ලොග් මැරතන් එක පැවැත්වෙන්නෙ. එතනින් ලබාදුන්න ආරම්භය තමයි වර්තමානයට බොහෝ විට බලපාන්න ඇත්තෙ. එහෙම නැත්තං මේ වෙනකොට තාමත් සිංහල බ්ලොග් අවකාශය කියල වචනයක්වත් හොයාගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

දැන් සුදාරකට තවත් මාස හයකින් අවුරුදු විස්සක්. එහෙම බැලුවාම පහුගිය අවුරුදු හතර ඇතුළත සුදාරකට ඉඩ ලැබුන සෑහෙන්න වෙනස් වෙන්න. සමහර විට ඒක බ්ලොග් ලිවිල්ල නිසාම ලැබුන දෙයක් වෙන්න ඇති. එහෙම නැතිනම් සිංහල බ්ලොග්කරණ තරගාවලිය අඳුන්වාදෙන්නත්, සීයට අසූව පැත්තකින් තියල ඇවිද ඇවිද වැඩ කරන්නත් ඉඩ ලැබෙන්නෙ නෑ. උසස් පෙළ නොලිවීම ජීවිතේ එක තැනක් අඩාල වීමක් වුනත්, පසුතැවීමක් නැත්තෙ පහුගිය අවුරුදු හතරකට ජීවිතේ ගැන ලැබුන අත්දැකීම් ටික සෑහෙන්න වටින නිසා. ඒක නිසා මට උසස් පෙළ නොලිවීම පාඩුවක් නෙවෙයි. මම හිටපු ඉස්කෝලෙත්, රාජකීය විද්‍යාලය වීම නිසා ඒකත් බොහෝදුරට බලපාලා ඇති. 🙂 ඒ අතරෙ ජීවිතේ, අන්තර් පුද්ගල සම්බන්ධතා, ආදරය, අධ්‍යාපනය වගේ දේවල් ගැන තේරුම්ගැනීමට ලැබීමම ඇති. සාමාන්‍ය පෙළ කරාට පස්සෙ ඊළඟට තමන්ට ලැබෙන අවුරුදු කිහිපය ජිවිතය පිළිබඳව බොහෝ දේවල් වෙනස් කරාවි, තීරණය කරාවි. 🙂

අවුරුදු හතරක වුන දේවල් මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි. සමහර දේවල් දැනටමත් මේ බ්ලොග් අඩවියේ තැනිත් තැන ලියවිලා ඇති. 🙂 මේ අතරෙ බ්ලොග් අවකාශයේ අවුරුදු තුනකින් වයසට යන ඉන්ද්‍රනාමටත් සුබ පැතුම්! 🙂

මතක් කළ යුතුම (එකිනෙකට බොහෝ වෙනස් සහ කාලයෙන් කාලයට හමුවූ හෝ තවමත් දෑසට නොදුටු නමුත් පහුගිය අවුරුදු හතරේ වැදගත් වූ විවිධ චරිත ඇති) අය:

ආනන්දවර්ධන, මලින්ත සමරකෝන්, ටැබූ සබ්ජෙක්ට්ස්, රංගි අක්කා, මලී අක්කා, හරේෂ්, සූ අක්කා, ශ්‍රී ෂානු, චානුක වත්තෙගම, ලිෂාන්, රචින්ත, කේ. කේ. සමන් කුමාර, කාලිංග, අනූ අක්කා, සුපුන් බුධාජීව, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර, ලක්පති විජේසේකර, පැතුම් එගොඩවත්ත, කෝසල සෙනෙවිරත්න, රවිඳු රුක්ෂාන්, මනෝද්‍ය දිල්ෂාන්, ඉසුරු චින්තන, ළහිරු වික්‍රමසිංහ, ළහිරු සඳරුවන්, නිමේෂ්, චම්ලි, තිරංජය, මරණෙ, චමිල ද අල්විස්, පහන් සරත්චන්ද්‍ර, බිංකු, සංජය ඈපා සෙනෙවිරත්න, වසන්ත දේශප්‍රිය, අතුල පුෂ්පකුමාර, ප්‍රියංක ආරියසුමන, ඉන්ද්‍රනාම, සචී පනාවල, හෂිත අබේවර්ධන, දුකා, හර්ෂණ වීරසිංහ, කතන්දරකාරයා, මනුෂාන්, ප්‍රවීන් සමරකෝන්, චාමර පීරිස්, පැතුම් පුංචිහේවා, සඳුන් ලක්මාල්, වරුණ ඉද්දමල්ගොඩ, ලියනගේ අමරකීර්ති, නිලක්ෂ, ධනික, අසංකා, කැළුම් නවරත්න, ප්‍රභාත් රණසිංහ, සහන් අරම්පත්.

මේ අතර අනාගතයට සහ අතීතයට අයත් දෙදෙනෙක්ගේ (පුද්ගලිකත්වය රැකීමට අවශ්‍ය නිසා) නම් නෑ කියා වැඩිදුර හිතන්න අවශ්‍ය නෑ. 🙂 ඒ නම් දෙකද ඇතුළුව මේ හැම නමක්ම මේ අවුරුදු හතරේ බොහෝ වැදගත් වූ අය. එහෙම නැතිනම් වචනයකින් හෝ උදව්වක් දැක්වූ අය. 🙂

මට කියන්න ඕනෙ වුනේ. බ්ලොග් ලිවීම ජීවිතය වෙනස් කරන අත්දැකීමක්. විවිධාකාර අයත් එක්ක ගැටෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒකම ඇති බොහෝමයක් දේවල් ඉගෙනගන්න. 🙂

Categories
කාලීන විවිධ

මාර්කටින්ග්

වැඩ කෝටියක් තිබුනත් බ්ලොග් එක පාලුවෙන් තියන්න හොඳ නෑ නෙව. මේ දවස්වල මම ඇර අනිත් විද්‍යා ගණිත කාරයෝ උසස් පෙළ කරල නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා හෝ විනෝද චාරිකාවේ ඉන්න ගමන්.

මේ අතරෙ උසස් පෙළින් පසු අලුත් දැනුම හොයාගෙන යන්න පෙළඹවිම් ඇතිකරන්න එක එක ආකාරයේ වැඩසටහන් දියත් වෙලා තියෙනවා නෙව. ඔය අතරේ අපේ ගෙදරට ආවා ලිවුමක්. උසස් පෙළින් පසු!

රුපියල් 12,000ක් වටිනා ශිෂ්‍යාධාරයක්!

පරිගණක තොරතුරු තාක්ෂණය වෙනුවෙන් රු12000/- වටිනා ශිෂ්‍යාධාරයක් ඔබටද හිමිවී ඇති බව සතුටින් දන්වා සිටිමි.

රැකියාවකට යන විට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන විෂයන් තුනකින් නොමිලේ දේශන ආරම්භ වේ.

ඔබට උගන්වන ව්‍යාපාරික ගැටලු.
සුපිරි වෙළඳ සැලක ලාභ අලාභ, බැංකුවක තැන්පත් මුදල් සඳහා පොලී විශ්ලේෂණය, විදුලි බිල විශ්ලේෂණය, ලීසිං, වැටුප් පද්ධති, මුදල් වර්ග කිරීම, ව්‍යාපාරයත ලාභ හෝ පාඩු විශ්ලේෂණය, Breakeven analysis, විභාග පරිගණකගත කිරීම, අදායම් බදු…

(මෙන්න හොඳම හරිය)
මධුසමය ගත කිරීමට හෝටලයට යන ගනුදෙනුකරුවන්ගේ බිල් සකස් කිරීම, කුරුමිණියෙක් පියාඹා ඇවිත් රූමත් තරුණියකගේ හැට්ටය උඩට වසන අයුරු Animation නිර්මාණය කිරීම, කැළයෙන් එලියට පැමිණෙන ඇනකොණ්ඩා, ළමුන් දෙදෙනෙකු සපා කා නැවත කැළයට යන අයුරු…

Graphic Designing
ව්‍යාපාරික ලාංඡන 25ක් නිර්මාණය කිරීම, ශාරුක්ඛාන් නිදාසිටින ඇඳක ඔබද එහි නිදා සිටින අයුරු Image නිර්මාණය කිරීම, විලියම්ගේ මංගල ඇඳුම ඔබ ඇඳගෙන කේට් සමඟ සිටින අයුරු Image නිර්මාණය කිරීම, නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම, පාරට වැස්සක් වහින ආකාරය, දේදුන්නක් මුහුදට වැටෙන ආකාරය, රූමත් යුවතියකට මහළු පෙනුමක් ඇතුළත් කිරීම යනාදී නිර්මාණ ගැටලු 100ක්

අයියෝ මාර්කටින්ග්!