Categories
ජීවිතේ විකාර හිනා

ඔයා මගෙ ලයිෆ් පාර්ට්නර් වෙනවද?

“බලන්න අයියෙ ඔයාගෙ යාලුව මට කරපු දේ. එයා මාවයි, අපෙ ගෙදර අයවයි දෙගොල්ලොම රැවැට්ටුවා. මට එයාව ආයෙ එපා. ඒත්… එයා මට කරපු දේවල් නම් කවදාවත් අමතක කරන්න බෑ…”

“එයාව ආයෙ එපා” කියන වචනෙම ආයෙත් ලැබුනොත් අරගන්නවා කියන තේරුම තිබුන නිසාම මම දුක් ගැනවිල්ල අහගෙන හිටියෙ මොකක්වුනත් අපේ එකා වෙනුවෙන්. අපරාදෙ කියන්න බෑ ලස්සන කෙල්ල. අපිට මෙහෙම එකක් හම්බවෙනවම් මැරෙනකම්ම ළඟ තියාගන්නවා.

පහුගිය දවසක “සුහද හමුවකට” එකතුවුන පරණ ඉස්කෝලෙ යාලුවො…

– අතුරු කතාවක් –
පරණ ඉස්කෝලෙ කියල කිව්වට ඒක  තාමත් මගෙ ඉස්කෝලෙ. ඒත් ඉතින් ඉස්කෝලෙ කරේ තියාගෙන යන්න බෑනෙ දැන්.

පරණ යාලුවොන්ගෙ පළවෙනි ප්‍රශ්නෙ තමයි… අරක තාම කරනවද? මොකෝ වුනේ? එක කෙලියයි. හිනා වෙලා උත්තර දෙනව මිසක් වෙන මොනව කරන්නද? ඔන්න අවුරුදු ගාණක් එකම රිලේෂන්ෂිප් එකේ ඉන්නවනම් අපිට ඌව මාර පොර.

“ෂා උඹ සිරානෙ!”

කොහොමහරි ගෙදර යද්දි අමතක වෙලා එකෙක්ගෙ කුඩේ ගෙදර අරගෙන ගිහින්. මේක ගෙදරට අහුවුන වෙලාවෙ ඉඳල ප්‍රශ්න ගොඩයි. කාගෙද මේ කුඩේ? කොහෙද ගියේ? ගෙදර අයත් හිතන්නෙ ගෑනු ළමයෙක්ගෙ කියල. අනික ඉතින් “සුහද හමු” වලට යන්නෙ ගෙදරට කියලයැ?

මම මේ ඔක්කොම කිව්වෙ, දැන් අපේ වයසත් එක්ක… “ඔන්න ගෑනු ළමයෙක් ඉන්න ඕනෙ” කාලෙ හරි වගේ අදහසක් සමාජයේ තියෙන නිසා. තිබුනත් කචල්. අර දේශපාලඥයෙක්ගෙ පුතෙක් ගෑනු ගොඩාක් එක්ක ඉන්න ඡායාරූප අරගෙන මෙන්න සදාචාරේ නෑ කියල කෑ ගහන රටේ, ගෑනු ළමයෙක් හිටියත් අවුල්. නොහිටියත් අවුල්. මට නම් ඒ ඡායාරූප වල අවුලක් නෑ. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු.

එක අතකට අනුන් කියන ඒව ගණන් ගන්නෙ මොකටද? හොයාගන්න තරුණයෙක්නම් ලයිෆ් පාර්ට්නර් කෙනෙක්! 😉

ඔය වැඩේ එච්චර ලේසි නෑ. පැතුම් පුංචිහේවානම් දවසක් කිව්වෙ ආදරේ කරන්න ඕනෙනම් අඩුගානෙ වයස 21ක්වත් සම්පූර්ණ වෙලා ඉන්න ඕනෙ කියල. ඒත් ඉතින් පුංචි අහිංසක මල් වගේ හිත් වලට වැටවල් බඳින්නෙ කොහොමද?

සමහරු එකපාරින්ම තමන්ගෙ ජීවන සහකාරිය හොයාගන්න අතරෙ තව සමහරු “බොක්කෙන්ම” පළවෙනි දෙවෙනි තෙවෙනි වශයෙන් පිළිවෙලට ආදරේ කරල හදවත් කඩාගෙන බිඳගෙන, ඒත් ආදරේ කරනවා. (මං වගේ) තව සමහරු එකක ඉන්න ගමන් දහයක් පහළොවක් සමගාමීව අරගෙන ගිහින් සහකරු සහකාරීය හොයාගන්නවා.

මේ එකකටවත් මටනම් වැරදි කියන්න බෑ. නීතියේ වුනත් අනාචාරයේ හැසිරීම කියන එකට දඬුවම් නෑ හරිහැටි. (වැරදි නම් නිවැරදි කරනවද? ) එහෙම වෙලා තියෙන්නෙ ඒක හරිහැටි අර්ථදක්වන්න අමාරු නිසා වෙන්න ඇති. මිනිස් අවශ්‍යතා නෙව.

මොනව වුනත් ගොඩක් අය අන්තිමේදී තමන්ගෙ ලයිෆ් පාර්ට්නර් හොයාගන්නවා. අඩුමගානෙ, “ආ මෙයා මගෙ ලයිෆ් පාර්ට්නර්” කියල හිත හදාගන්නවා.

දැන් ඔය අය දන්නවා හරක හැරෙන්න පොල් පැලේට තමයි කියලා. මාත් හොයනවා ලයිෆ් පාර්ට්නර් කෙනෙක්. ඒත් මේ වැඩේ කොච්චර කරත් හරියන්නෙ හරියන්නෙ නැති නිසා අන්තිමට හිතාගත්ත යම්කිසි රාමුවක් යටතේ ලයිෆ් පාර්ට්නර්ව තෝරගන්නවා කියලා.

අංක එක. ලස්සන වෙන්න ඕනෙ. මොනව වුනත් කමක් නෑ ලස්සන තියෙන්න ඕනෙ. හරියට නිකන් ජපන් බෝනික්කෙක්ගෙ වගේ. එහෙම නැත්තම් අර (පහළ තියෙන) Gangnam Style සින්දුවේ නටන කොරියානු ගෑනු ළමයෙක් වගේ වෙන්න ඕනේ. හැබැයි ලංකාවෙ ඇස්. බාගෙට ඇරුන ඇස් වලට මම එච්චර කැමති නෑ.

[youtube=http://www.youtube.com/watch?v=9bZkp7q19f0]

මට වඩා කොට වෙන්න ඕනෙ. එක්කො මගේ ගාන. අනිත් ඔක්කොම ගැලපුනත් මට වඩා උසනම් වැඩක් නෑ. පාරෙ බැහැල යන්න පුලුවන්ද මම අහන්නෙ? මට? අක්කයි මල්ලියි වගේ නෙව…

ඊළඟට… කියවන කෙනෙක්, චිත්‍රපටි, වේදිකා නාට්‍ය බලන කෙනෙක් වෙන්න ඕනෙ. කියවන එකටත් වඩා කැමතියි චිත්‍රපටි වේදිකා නාට්‍ය බලන කෙනෙක් නම්. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටි බලල තියෙන්න ඕනෙ.

  • It’s Kind of a Funny Story
  • Lord of the Rings (චිත්‍රපටි තුනම)
  • Harry Potter (චිත්‍රපටි අට)
  • Shawshand Redemption
  • Batman Triology
  • Forrest Gump
  • Pulp Fiction
  • Inception
  • A Walk To Remember
  • Kal Ho Na Ho

මේ චිත්‍රපටි බලල තියෙනවනම්, චිත්‍රපටි විභාගෙන් පාස්. හැබැයි ඔය මොනව බලල තිබුනත් “වන් ෂොට් වන්” බලන්න පෝලිමක ඉඳල හරි තියෙනවනම්, එහෙම නැතිනම් “වන් ෂොට් වන්” චිත්‍රපටිය නොබල බොක්ස් එකක ඉඳල හරි තියෙනවම් එයාව ප්‍රතික්ෂේප වෙනවා.

මීට අමතරව Game of Thrones, Big Bang Theory, Rome, House වගේ TV Series බලල තියෙන්න ඕනෙ. මම දැක්ක බයිස්කෝප් සයිට් එකේ කොටසින් කොටස ඩවුන්ලෝඩ් කරගන්නත් දීල තියෙනවා.

පොත් කිව්වනම් ඉතින්, ඕනෙ පොතක්. “සුළඟ වගේ ඇවිදින්” කියල තියෙනවනම් වෙන ඕනෙ නෑ…
ඒත් Harry Potter පොත් හත කියවල තියෙනවනම් මරු! 🙂

ඊළඟට JVP හරි JVP එකෙන් කැඩිල ගිය කාණ්ඩෙ හරි වෙන්න බෑ. කෑම උයන්න බෑ කියල පඩියෙන් සීයට හයක් ඉල්ලල වර්ජනේ කරොත්? (Sarcasm)

වෘත්තිය තොරතුරු තාක්ෂණේ හරි දොස්තර හරි. එහෙම නැත්තම් ඉංජිනේරුවරියක්. එහෙමත් නැත්තං බැංකුවක. ඒක නම් එච්චර සලකන්නෙ නෑ කියමුකො. ගුරුවරියක් නම් වඩා හොඳයි… ආව්… අපේ තාත්තත් තෝරගත්තෙ සිංහල ගුරුවරියක් නෙව.

ඔබ තෙමෙයි කියා බයයි… 😉

[youtube=http://www.youtube.com/watch?v=-IjGZlM_a0I]

වේදිකා නාට්‍ය කලින් බලල නොතිබුනාට කමක් නෑ. නොමිලේ වේදිකා නාට්‍ය බලන්න එක්ක යත හැති.

ඊළඟට ගෑනු ළමයගෙ ඉස්කෝලෙ. ඒක නම් එච්චර බලන්නෙ නෑ. ඒත් මියුසියස් හරි බ්‍රිජට් කන්‍යාරමයේ හරි නම් හොඳයි. ලේඩිස් කොලේජ් අය නම් සැර වැඩියි මං හිතන්නෙ. 😛

විශාකා, සිරිමාවෝ, දේවි බාලිකා අයටත් ප්‍රමුඛතා පිළිවෙලට සලකා බලනවා. 😛

වෙලාවෙ හැටියට රහීම එකෙන් හරි, ඩයිනමෝ එකෙන් හරි, හන්දියෙ සීයෙ කඩෙන් හරි කන්න පුලුවන් වෙන්න ඕනෙ. සල්ලි තිබුනොත් බැරිස්ට එහෙම නැත්තං වඩේ එකයි ප්ලේන්ටි එකටයි වුනත් රෙඩි වෙලා ඉන්න ඕනෙ. එහෙම නැත්තං නොකා හාමතේ ඉන්නත් රෙඩි වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට වැඩේ අමාරුයි.

අන්තිමට, හොඳට සිංහල පුලුවන් වෙන්න ඕනෙ. නැත්තං සිංහල ගුරුවරියක් වුන අපේ අම්ම අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ දෝස නිවැරදි කරනකොට මට තමයි විසුමක් වෙන්නෙ නැත්තෙ.


පසු ලිවීම: 😛

Categories
Uncategorized

කලකට පසු ලියමි….

ඉතින්, කොහොමද?

කාලෙකට පසුව හෝ හදිසියේ හමු වූ කෙනෙකුගෙන් අහන බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් ඒ. බොහෝ දෙනෙක් මොනවගේ කරදර තිබුනත් හිනාවෙලා “මම හොඳින්” කියල උත්තරේ දෙන නිසා, මමත් එහෙම හිතාගන්නම්. 🙂
ඉතින්, මාත් හොඳින්. 🙂
මේ දවස්වල අමතර වැඩ කරන්නේ නම් නැති තරම්. විභාග කටයුතු වල හිරවෙලා. ඇත්තටම කිව්වොත්, ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්තාටත් වඩා ඉගෙනගන්නෙ මේ කාලෙ. ඉතින් බොහොම කාර්ය බහුලයි. කාර්ය බහුල නැති වෙලාවට හිතේ මහන්සිය නැති කරගන්න DotA 2 සෙල්ලම් කරනවා. වෙලාවක හිතුන බ්ලොග් එකට DotA 2 ගැන ලිව්වොත් හොඳයි කියල. ටිකෙන් ටික හිත නිදහස් වේගෙන එන නිසා සහ ලිවීම අතනොහැර සිටීමට අවශ්‍ය නිසා ආයෙ ආයෙත් බ්ලොග් ලිපි ටික ටික හෝ ලියන්න හිතාගෙන ඉන්නවා. බ්ලොග් ලිවීම නොලියා සිටි කාලයේ සෑහෙන්න වෙනස් වීම් ගොඩක් සිදුවුනා. ඔව්, උසස් පෙළත් ලිව්වා. 🙂 උපාධියේ පළවෙනි අවුරුද්දත් දැන් සම්පූර්ණයි. ඉතින් සුදාරක දැන් ලොකු ළමයෙක්. ගිය මාසෙට වයස අවුරුදු විස්සක්ම සම්පූර්ණ වුනා. 🙂

ඉතින් නැවතිලා තිබුන ලිවිල්ල ආයෙත් පටන්ගන්නෙ අහම්බෙන් ලියවුන කවියකින්. සෑහෙන්න කලකින් ලියන නිසා මටවත් ඒ ලිවිල්ලෙ මෙලෝ රහක් දැනුනෙ නෑ. ඒත් හිස් තැන් තියනවාට වඩා හොඳයි ලියා පුරවන එක. ඉතින්, හිතෙන දේ කියන එක මම හිතන්නෙ අපි කාටත් හොඳයි, 🙂


“මූට අපි ඉගැන්නුවා
හොඳටෝම වැඩි!”
අම්ම කිව්වා දවසක්,
නිදහස ඕනෑය කියනකොට.
“ඉගෙනගත් අයට,
නිදහසක් ඕනෑමය”

රූපවාහිනිය දවසක්,
අම්මාට කිව්වා.

ඉතින්…

නිදහස හොයාගෙන,
ඇවිදගෙන යනකොට,

දුටුවා…

ලෙඩෙක්, මළ මිනියක්, පැවිද්දෙක්.

හොඳටෝම බීලා,
නරක්වුන වකුගඩුව,
වෙනුවට තව එකක්,
ගන්න දෙනවද සල්ලි?

ගෙයින් එළි බහිනකොට,
තාත්තාගෙන් ඉල්ලාගත් සල්ලි.
දුන්නෙ ඒ ලෙඩාට,
ලෙඩෙන් නිදහස් වේවි සිතමින්.

ආදරෙන් පැරදී,
ගෙලේ වැල ලා ගත්,
තවම සා.පෙළ කර නොමැති,
තරුණ මළ සිරුරකි ඒ…

මරණයට ගෞරවය,
දෙන්න එන පිරිසට,
කන්න දෙන්නට බැරිය,
අතේ සතයක් නැතිව.

“ඉතින් මයෙ රත්තරන් පුතේ,
දෙනවාද කීයක් හරි?”

මටත් මගෙ අතීතය,
මොහොතකට මතක් වී,
රුවැති ඒ යුවතියට,
ගෞරවය වනු පිණිස,
අත වූ ඉතිරි මුදලින්
දුනිමි සුළු කොටසක්.

ශාසනේ නම් පිරිහිලා හොඳටම,
අපිත් බණ දෙසුවට,
වුනේ නෑ කිසි වැඩක්.

සාද මොහොතකදී,
ටිකක් නම් බිව්වාට,
කමක් නෑ නොවෙද?

ඒත් මුන් බොනවනේ….
ගොඩ ගොඩ?

ඊයේ රෑ සාදයේ,
හොඳටෝම බීලා,
අද දවල් දානය,
ගෙනාවේ නෑ උපාසක.

හරි වැඩක් නේ පුතේ,
බැංකුවේ ATM එකත්,
දැං කරන්නේ නෑ වැඩ.

ඉතින් පොඩි ණයක්,
ගන්න මට බැරි වෙයිද?

බොහෝ පිං ඔය පුතාට,
ඔය පුතා පිංවන්තයි,
හරිම පිං පාටයි මුහුනත්,
එනවද ඒ පැත්තෙ වෙලාවක?

නිදහස හොයාගෙන,
ඇවිදින්න තව තිබුණත්,
දැං නං හොඳටම හෙම්බත්….