Categories
දේශපාලනික මතවාද සමාජ ගැටලු

මිනිස්සුන්ට තියෙන්නෙ අධ්‍යාපනය රැකගැනීමට වඩා මුදල් පිළිබඳ ප්‍රශ්නයක්.

මේ දිනවල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සහ දේශිය දළ ජාතික නිශ්පාදන වියදමෙන් සියයට හයක ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් දියත් කරන රැළි මාලාව හරිම ජනප්‍රියයි. කොහොම නමුත් ඔවුන් බොහෝ පිරිසකට ඒත්තු ගැන්වීමට සමත් වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය පවතින අවදානම් තත්වය.

නිදහස් අධ්‍යාපනය ගැන කොතරම් මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙනවාද කිව්වොත්, දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා. ඇත්තම කතාව ඒක නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ තමන්ගේ නිදහස් තෝරාගැනීමට යටත්ව රිසිසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම. එහෙම බැලුවොත් ලංකාවට නිදහස් අධ්‍යපනය අහිමි වෙලා තියෙන්නනෙ සෑහෙන්න අවුරුදු ගාණකට කලින්.

පවතින ක්‍රමය යටතේ බොහෝ කාලයකට ඉහතදී යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය බොහෝ ගැටලු රැසක් වර්තමානයේ ඉතිරි කර තිබෙනවා. වෛද්‍යවරු වේවා ඉංජිනේරුවරු වේවා ඔවුන්ද සැලකෙන්නෙ කම්කරු මට්ටමෙන්. ඔවුන්ට වඩා අධ්‍යාපන සුදුසුකමින් අඩු මට්ටමේ දේශපාලකයින් ඉතා ඉහළ පහසුකම් සහ වැටුප් ලබාගන්නවා (සරල උදාහරණයක්) මෙවැනි වැටුප් විෂමතාවක් සහ සමාජ තලවල සැලකිය යුතු විකෘතියක් ඇතිවෙලා තියෙන්නෙ මේ යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය නිසා. ඉතින් ක්‍රමය වෙනස් කිරීමටැයි සටන් වදින අය පවතින ක්‍රමයම පෝෂණය කරන අධ්‍යාපන ක්‍රමය රැකගැනීමට සටන් වදින්නේ ඇයි?

එහෙමනම් සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ක්‍රම ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සටන් වැදීම වඩාත් හොඳයි නේද?

විශ්ව විද්‍යාල කථිකාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීම අතිශයින්ම සාධාරණ ඉල්ලීමක්. මේ සටන ඇතුළෙ කුමන දේශපාලනයක් තිබුනත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ගේ වැටුපට සෑහෙන්න ඉහළ ප්‍රමිතියක් හිමිවිය යුතුයි. මේ කොහොමවුනත් සුලුතරයක් වෙන ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඪ වලින් හැර අනෙකුත් විශ්ව විද්‍යාල වලින් රටේ දියුණුවට අදාළව මොනවද වෙලා තියෙන්නෙ? විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන දවසෙ ඉඳල ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනවා ඇරෙන්න? ඒවත් සාර්ථක වුනානම් කමක් නෑ. මේ පාරවත් සාර්ථක වෙයිද?

මෙතන තියෙන්නෙ සරලව මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය අතිශයින් වැදගත්. නමුත් නිදහස් අධ්‍යාපනය පැවතුනු කාල සීමාවේදී මෙතරම් බණ කියන, සාක්ෂරතාවෙන් සංතෘප්ත වුන රටේ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය වෙනස් කරන්න අපට තවමත් බැරි වෙලා නේද?

සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් වදින්න. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න.

Categories
Uncategorized

ස්තූතියි!

සාමාන්‍යයෙන් අගය කිරීම් සඳහා බොහෝ දෙනෙක් කැමතියි. කෙටි ස්තූති වදනක් හෝ සුබ පැතුමක් බොහෝ දුර යා හැකියි. සරළ උදාහරණයක්, ගෑනු ළමයෙක්ට ලස්සනයි කියල බලන්න! 😉

මේ සටහන ලියන්නේ බස් රේඩියෝව විසින් ඊයේ පවත්වන්නට යෙදුන ඔවුන්ගේ ප්‍රථම සිංහල බ්ලොග් සම්මාන උළෙළේ (අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු) හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සඳහා වූ සම්මානය හිමි වීම නිමිත්තෙනුයි. විභාග කාරණා සහ අතුරු කතා මැද කාලයක් නොලියවුනු සුදාරකගේ අන්තර්ජාල සටහන නැවත ටිකෙන් ටික ලියවෙන්නට පටන්ගත් මොහොතේම මෙවැනි සම්මානයක් හිමි වීම ඇදහිය නොහැකි ආශ්වාදයක් සහ නැවත ලියන්නට දිරි ගැන්වීමක්.

මීට අවුරුදු හතරකට පහකට පෙරදී අන්තර්ජාලයට ඇතුළත්වෙද්දී අන්තර්ජාලය අතහැර දමා තිබුණ මුඩු බිමක් වගේ. (මෙලෝ රහක් නෑ?) තාමත් හරිහැටි මතකයේ නැති වැඩකට සිංහල අකුරු හොයද්දී හමුවුන සිංහල යුනිකේත සමූහය මගේ ජීවිතය වෙනස් කරා කිව්වොත් නිවැරදියි. හහා! මේ එහෙම කියන පළවෙනි පාර.

සිංහල යුනිකේත සමූහයෙන් පටන්ගත්ත අන්තර්ජාල මිතුරන් හඳුනාගැනීම සහ බ්ලොග් ලිවීමම පමණක් ගොඩක් දුර ගෙනගියා. සිංහල බ්ලොග් මැරතන් පැවැත්වීමට දායක වීම, බ්ලොග්කරුවන්ගේ සංසදය පිහිටුවීම (දැන් නම් එහි කටයුතු කරන්නේ නැහැ) සහ අවසාන වශයෙන් රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ක්‍රියාකාරකම් වෙත දායක වීමෙන් සිංහල අන්තර්ගතයන් පැතිරවීමේ කාර්යයට පදනම් දැමීමේ කොටස් කාරයෙක් වීම සහ ඒ සම්බන්ධ පුද්ගලයන්ගේ මතකයේ රැඳීමට හැකිවීම අහඹු නමුත් සතුටුදායක කාරණයක්. ඒ කියන්නෙ දැන් සතුටෙන් මැරෙන්නට පුලුවනි. 🙂
දැනුත් කණ්ඩායම් වශයෙන් සහ තනි තනි වශයෙන් අන්තර්ජාලයේ සිංහල අනන්‍යතාව තබා ගනිමින් සිටින ආකාරය දැකීමට සතුටක්. කණ්ඩායමක් නවතිනකොට තවත් කණ්ඩායමක් තමන්ගේ ආරම්භය කෙසේ හෝ සටහන් කිරීම ස්වභාවයෙන්ම සෑම තැනකට සිදුවෙන නමුත් “දැන් බ්ලොග් ඉස්සර වගේ නෑ” “දැන් එකමුතුවෙන් ලස්සන වැඩක් වෙන්නෙ නෑ” කියනවාට වඩා එය වැදගත්.

අන්තර්ජාලය ලෝකයටම අදාළ වුවත්, සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා තම තමන්ගේ අනන්‍යතාව රැකගැනීම වැදගත්. කාලයකට ඉහත දී අන්තර්ජාලයේ නන්නත්තාර වෙලා සිටි ලාංකීය සුලුතරයටත් ක්‍රමයෙන් ලංකාවේ වර්ධනය වන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවටත් අන්තර්ජාලයයේ අනන්‍යතාව නිසා බොහෝ දේ කළ හැකි යැයි මම තවමත් විශ්වාස කරනවා.

ඉතින් බස් රේඩියෝ කණ්ඩායමට ඉදිරි කටයුතු සඳහා සුබ පතන අතරේ ඔවුන්ට සහ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන නොකියවන හැමදෙනාටම ස්තූතියි.

බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශිත නාමයන් සහ සම්මාන ලාභීන් මෙතැනින් කියවිය හැකියි. ඒ ඔස්සේම බස් රේඩියෝ ශ්‍රවණය කරන්නත් හැකියාව තියෙනවා.

මං දන්නවා ලිවිල්ලට තරමක් අලුත්, එහෙමත් නැතිනම් අවුරුදු දෙකකට අවම නවක බොහෝ දෙනෙක් සුදාරක නොදන්නවා ඇති. ඉතින් මම ආයෙ ලියනවා සහ ඔවුන්ගේ කියැවීමට මඟහැරුන ලිපි සහ බොහෝ දෙනා කැමැත්තෙන් කියවූ ලිපි කිහිපයක් Shameless Self Promotion වෙනුවෙන් පහත තියෙනවා.

නැවතත්,
ස්තූතියි! 🙂