Categories
ජීවිතේ

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි. 🙂

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි! 😀 හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.

Categories
ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය බ්ලොග්

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.