Categories
අන්තර්ජාලය

සස්රුත – සත්‍යයේ රූපතාව…

sasrutha

සිංහ‍ල යුනිකේතයේ දියුණුවත් සමඟම සිංහල භාෂාවෙන් නිර්මාණය වන වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා ‍විශාල අවධානයක් යොමුවෙන් පවතින කාල සීමාවකි මේ. මේ පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා ඇති. මේ කියන්නට යන්නේ “සස්රුත” වෙබ් අඩවිය පිළිබඳවයි. සිංහල යුනිකේතය භාවිතයෙන් අන්තර්ජාලයේ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සෙවීමේදී අන්තර්ජාලයට නවකයින් මුහුනදෙන ගැටළුවක් තමයි සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීම.  මෙහිදී එම බාධකයට ඉතාමත් සාර්ථක පිළිතුරක් ලබාදී ති‍බීම සතුටට කාරණයක්. සිංහල යුනිකේතය යතුරුලියනය කිරීමට “කිසිවක්” (මෙහිදී කිසිවක් යන්නෙන් අදහස් කරේ කෙටි ක්‍රමද ඇතුලුවයි) නොදන්නා ඕනෑම පුද්ගලයෙකුට සස්රුත වෙබ් අඩවිය ලබා‍දීමෙන් කිසිදු අමතර සෙවීමකින් තොරව එම වෙබ් අඩවිය තුලම හිඳිමින් තමන්ට සෙවීමට අවශ්‍ය කරන සෙවුම් වදන් ඉතාමත් පහසුවෙන් ඇතුලත් කළ හැකියි. මෙහි නිර්මාණය කර ඇති On-Screen යතුරු පුවරුව ඉතාමත් දැකුම්කලු, නිර්මාණශීලි එකක් වීම වි‍ෙශ්ෂයි.

On Screen Keyboard
On Screen Keyboard

සිංහල යුනිකේතය ප්‍රවර්ධන කිරීම සඳහා මෙවැනි වෙබ් අඩවියක ප්‍රයෝජනය වචන වලින් පැවසීම අපහසු කාර්යයක්. දැන්, වාණිජමය මෙහෙයුම් පද්ධති වන Windows Vista, Windows7 වැනි මෙහෙයුම් පද්ධති සමඟ කිසිදු අමතර මෘදුකාංග පිහිටුවාගැනීමෙන් තොරවම සිංහල යුනිකේතයට භාවිතා කළ හැකි නිසාවෙන්, එම මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන සාමාන්‍ය අන්තර්ජාල භාවිතාකරුවෙකුට සිංහල යුනිකේතයේ ප්‍රයෝජනවත් බව පෙන්නුම් කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න යැයි දැනුවත් කිරීම ප්‍රමාණවත් බවයි මගේ හැඟීම. නිර්මිත දැකුම්කළු නිමාවත්, සරල බවත් නිසාවෙන් එය වෙබ් අඩවි පරිශීලකයා ඉතාමත් ඉක්මනින් ග්‍රහණය කරගන්නවාට කිසිදු සැකයක් නැහැ. මේවන විට සස්රුත වෙබ් අඩවිය පවසන අයුරින් ඔවුන්, බිලියන දොළහකට ආසන්න වෙබ් පිටු සංඛ්‍යාවක තොරතුරු සස්රුත සෙවුම් යන්ත්‍රයට අන්තර්ගත කොට තිබෙනවා.

මෙහි නිර්මාණකරුවා විදේශයක සිටිමින් වුවත් සිංහල භාෂාව පිළිබඳව තම අවධානය යොමු කරමින් මෙවැනි සද්කාර්යයකට දායක වීම අප අගය කර යුතුයැයි හැඟුනෙන් මෙසේ මෙම බ්ලොග් සටහන ලියැවුනා.

එසේනම්…
ඔබත් පිවිසෙන්න “සස්රුත” සෙවුම් යන්ත්‍රයට
ඔබේ මිතුරන් මෙම වෙබ් අඩවිය පිළිබඳව දැනුවත් කරන්න.


මේ පිළිබඳව ලියැවුනු වෙනත් බ්ලොග් ලිපි.
සස්රූත ~ සිංහල සර්ච් එන්ජිම

Categories
ජන මාධ්‍ය විචිත්‍ර විවිධ

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න බෑ. ඇමරිකන් කුස්සි අම්මාගේ මැරතන් දායාදය අපේ කරගන්නයි මේ හදන්නේ. අළුත් අවුරුද්දේ සාමයෙන් සමඟියෙන් කට්ටිය එකතු වෙලා බ්ලොග් මැරතන් එකටයි ලියන්න සූදානම. තමන් කැමති දෙයක්, කැමති විදිහකට, තමන්ගේ විදිහට ලියන්නයි තියෙන්නේ. බ්ලොග් මැරතන් එකේ ප්‍රධාන ‍අරමණු කිහිපයක් තියෙනවා.

ඒවා නම්,

  • බ්ලොග්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම
  • සිංහල භාෂාවට අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණයක් ලබාදීම
  • සිංහල අන්තර්ජාල, පුද්ගලික, පුරවැසි මාධ්‍යකරණය පුළුල් කිරීම
  • සහ තවත් බොහෝ දෑ…

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මෙවර ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බවට දන්වා තිබෙනවා. ඔබ තාමත් ප්‍රමාද නෑ. 18වෙනිදා උදාවෙන්න කලින්ම ඔබේ සහභාගීත්වය සනිටුහන් කරන්න. ඒ වගේම ඔබට මේ ඉසව්ව මඟ‍ දෙපස හිටගෙන, හාන්සි වෙලා, දන ගහගෙන ඕන විදිහකට නැරඹීමට හැකි වන විදිහට සියලුම වැඩ කටයුතු සලස්වලායි තියෙන්නේ. ඔබට මේ තරඟය නැරඹීමට තිබිය යුතු එකම සුදුසු කම තමයි, සිංහල යුනිකේත සහය ඔබගේ පරිගණකයේ තිබීම. ඒ වගේම මේ තරඟය නැරඹීමේදී ඔබට පූර්ණ නිදහස තියෙනවා මැරතන් දුවන අයව දිරිගන්වන්න, වතුර ගහන්න (හැබැයි මොනිටර් එකට වතුර ගහලා මොනිටර් එක නම් නාස්ති කරගන්න එපා!) විතරක් නෙමෙයි බනින්නත් පුළුවන් (අසභ්‍ය වචන නම් පාවිච්චි කරන්න එපා) ඒ වගේම බෝම්බ වලට බයවෙන්න ඕනෙත් නෑ, කට්ටිය පෙරළගන්න ඕනෙත් නෑ. නිවි සැනසිල්ලේ තේකක් බොනගමන් වුනත් මේ තරඟය බලන්න පුළුවන්. ඒ තරමට මේ අවරුදු මැරතන් එකේ ප්‍රේක්ෂකයන්ට පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම වෙනදා ගම හරහා, රට හරහා මැරතන් දුවපු අයට පුළුවන් සියළු බාධක බිඳලා ලෝකේ හරහාම මැරතන් දුවන්න. කම්මැලි කමක් දැනු‍නොත් (කම්මැලි කමක් දැනෙන එකක් නෑ. ඒත් හදිස්සියේ දැනුනොත්?) චිත්‍රපටියක් බලන්න, යූ ටියුබ් එක පැත්තේ යන්නත් පුළුවන්. ඒ එක්කම අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙනවානම් ඒවා බලන්නත් අමතක කරන්න එපා හො‍‍ඳේ..’

බ්ලොග් මැරතන් එක ගැන වැඩියෙනු‍ත් එක්ක කිව්වාද මන්දා… ඔන්න එහෙනම් බ්ලොග් මැරතන් බලන විදිය පිළිබඳව පොඩ්ඩක් දැනගන්න…

පළමු ක්‍රමය – මැරතන් සින්ඩ්කේටරය.

http://marathon.sinhalabloggers.com වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට විනාඩි පහළෙ‍ාවෙන් පහළොවට යාවත්කාලීන වල, බ්ලොග් මැරතන් වලට සහභාගී වන සියළු දෙනාගේ සටහන් රසවිඳීමට හැකියි. මේ අඩවිය Bookmark කරගන්න අමතක කරන්න නම් එපා!

දෙවන ක්‍රමේ – යාහූ පයිප්පේ!

මේ පයිප්පේ අපේ සීයලා පාවිච්චි කරපු වගේ පයිප්පයක් වගේ නම් නෙමේ. ඒකට වඩා ගොඩක් දියුණ පයිප්පයක්. හැබැයි මේ පයිප්පෙන් මැරතන් බලලා මත් වුනොත් එහෙම ඕන් අපිට කරන්න නම් දෙයක් නෑ (විහිළුවක් කරේ!) මම නම් ඉතින් පොඩි එක‍ානේ, ඒක නිසා සුරාමේරය මජ්ජපමාදට්ඨානං වේරමණී සික්ඛාපදං සමාදියාමි! අහ් මැරතන් මාර්ගයෙන් පැන්නා නේද? එහෙනම් නැවත මාතෘකාවට පිවිසෙමු. යාහූ පයිප්පෙන් මැරතන් රසවිඳින්න පිවිසෙන්න;

තුන්වන පිම්ම! – ගූ-කතා හරහා!

කැතයි වගේද දන්නේ නෑ. ඒත් ඉතින් සිංහල ක්‍රමේට Google Talk කෙටි කරා එහෙම නේද කියන්නේ? ඔබ Google Talk භාවිතා කරනවානම්, marathon@sinhalabloggers.com
විද්‍යුත් තැපැල් ලිපිනය මිතුරෙකු ලෙසට එකතු කරගන්න. මේක තමයි මම අංක එකට නිර්දේශ කරන ක්‍රමය. ලේසියි. පහසුයි.

සිව් වැනි ක්‍රමේ – ට්වී‍ටරේ මැරතන්!

වැඩි විස්තරයක් ඕනේ නෑ http://twitter.com/BlogMarathon පස්සෙන් මැරතන් දුවන්නයි ඕනේ (Follow කරන්න) වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ. පුටුවේ ඉඳගෙනම ෆලෝ එකක් දෙන්නයි ඕනේ.

ඔන්න ඔහොමයි පින්වතුනි බ්ලොග් මැරතන් බලන්නේ.  ඉතින් මැරතන් දුවන හැමෝටම චියර් එකක් දෙන්න අමතක කරන්න එපා. මම දුවනකොට මෙන්න මෙහෙම චියර් කරන්න…

කවුද බෝයි! – සුදාරක…

තව පාරක්! – සුදාරක…
තව හයියෙන් – සුදාරක…

සු…!
දා…!
ර…!
ක…!

සුදාරක!
අනිත් අයටත් මේ විදිහම චියර් කරන්න හොඳේ!