Categories
විවිධ

වර්තමාන තරුණයාගේ තාරුණ්‍යය?

මේක නම් විශාල ප්‍රශ්නයක්. මම මේක ලියන්නද? නොලියන්නද කියලයි කල්පනා කරේ. දැන් නගරබද පාසල් වල ඉගෙනගන්න සිසුන්ට තමන්ගේ තරුණ කාලය විනෝදයෙන් ගෙවාගන්න විදිහක් නෑ. ඉගෙනගන්නත් අවශ්‍යයි තමයි. ඒත් ඉගෙනීමට විතරක් සීමා වෙලා හිටියොත් ඉස්සරහට ලංකාවට බිහිවෙන්නේ ඉතාමත් අසමබර පුරවැසියන්. හරියට නිකම් රො‍බෝවරුන් වගේ. උදේට නැගිටිනවා, කනවා, රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා, නිදාගන්නවා… එච්චරයි. හැමදාම එකම ‍දේ. හරිම ඒකාකාරී රටාවක් බිහිවේවි ඉස්සරහට. නිකම් ඉපදිලා, මැරිලා යන එක විතරයි වෙන්නේ. ඉපදිච්ච රටට, ලෝකයට අලුත් දෙයක් කරලා යනවානං, අන්න ඒක ලොකු දෙයක්. වි‍ශේෂයෙන්ම මේ තරණ කාලය පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ කාලය, නිර්මාණාත්ම‍ක දේවල් ඉදිරිපත් කරන්න පෙළඹෙන කාලයක්. අලුතෙන් යමක් හිතන්න තමන්ගේ මනස වෙනස් වෙන කාලයක්. වෙනත් බාධක මනසට එල්ලවෙන්නෙත් නෑ… (වැඩිහිටියන් එක්ක සාපේක්ෂව ගත්තොත්)

පන්ති පන්ති පන්ති. මට හිතෙන විදිහට උසස් පෙළ කරන කා‍ලේ තමයි ජීවිතේ තියෙන හොඳම කාලෙ. ඇයි පන්ති වලට හිරවෙන්නේ? මම තාම ඉස්කෝලේ A/L පටන්ගත්තේවත් නෑ. ඒත් පන්ති පටන් ඇරගෙන. තරඟය තරඟය තරඟය. සමහර අය පන්ති හත අටකටවත් යනවා කියලා තමයි ආරන්චි. එකම විෂයට පන්ති දෙක තුන. මේක ළමයින්ට අවශ්‍ය නිසා වෙන දෙයක් නෙවෙයි. බොහෝ විට දෙමව්පියන්ට අවශ්‍ය නිසා වෙන දෙයක්. ඒ වගේම සල්ලි කඩාගන්න බලාගෙන ඉන්න ගුරුවරුන්ගේ අවශ්‍යතාවටත් මේ වගේ දේවල් සිදුවනවා. බලන්න. එක Group Class එකකට කොළඹදී රුපියල් 1200/=යි Mass Class එකකට රුපියල් 600/= සල්ලිත් නිකන් වියදම් වෙනවා වැඩිපුර පන්ති ගියාම කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම මම හිතන්නේ ගොඩක් දේවල් පැටලැවෙන්නත් පුලුවන්. ඔන්න After O/L ඉවරවෙලා කරන්නම දෙයක් නැතිනම්… හොඳ වෘත්තිමය පාඨමාලා ටිකකට අත ගහන එක ඇඟට ගුණ වේවි.

නිදහසේ හිතන්න වෙලාවක් ඉතිරිකරගත්තොත්… ඒක හුඟක් වාසිදායක වේවි. හැමෝටම බැහැ ඉංජිනේරුවෝ, දොස්තරලා වෙන්න. නිර්මාණාත්මකව හිතලා යමක් කරොත් ගොඩේ ගොඩ. අන්තර්ජාලයේම ඕන තරම් උදාහරණ තියෙනවා. Google, Yahoo එවාට උදාහරණ දෙකක් විතරයි.

ඊළඟට භායානකම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය. “මරණය” බ්ලොග් අඩවියේ කලින් ලියැවිලා තිබුනා මේ ගැන. මෙන්න මේක නිසා වර්තමා‍නයේ විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය ජීවිත ‍විනාශ වෙනවා කියන එක… අලුත් දෙයක් නෙවෙයි. අලුත් දෙයක් නොවුනාට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ඇරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මම වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ. වැඩි විස්තර “මරණය” බ්ලොග් අඩවියෙන් බලාගන්න.

තව සීන් ගොඩයි… කොළඹ වගේම, වෙනත් තදාසන්න ප්‍රදේශවල ‍පාසල් ශිෂ්‍යයින්… දැන් ගණිකාවනුත් හොයාගෙන යනවාලු… වයසත් අඩු නිසා… බැරි වෙලාවත් සමාජ රෝගයක් හැදුනොත්? උහ්! විනාසයි!

මට මේ ප්‍රශ්නේ ඇතිවුනේ සා.ගා බලන්න යන්න ගිහින්. කෝ… බලන්න යන්න දුන්නේ නෑ නෙව. A/L පටන්ගත්තා විතරයි දැන් තහංචි වැඩියි. කලින් නම් ෆිල්ම් එකක් හරි බලන්න ගියා. ඒත් දැන්නම් බැරිවෙන පාටයි. අපේ අම්මා ගුරුවරියක් නෙව. ඉතින් ඔය Staff Room එක ගැන කතා කරන්න දෙයක් ‍නෑනේ. ඕපා-දූප සාගරයයි. ඉතින් වෙන ගුරුවරුත් ඇවිල්ලා අම්මාගේ කනේ තියනවා කොළඹ තියෙන ඔක්කොම දහ ජරා වැඩ ටික. ඉතින් ඒක නිසා… අපිට දැන් ගෙයිං එළියට බහින්නත් බැරි තරමට තහංචි.

වෙන ඉස්කෝල වල අය එක්ක කතා කරන්න යන්න එපා…
පොත ‍දෙන්න යන්න එපා…
ගැන්සි වලට යන්න එපා….
ඒ අය තමුන්ව අල්ලගෙන ඒ අ‍ය‍ගේ ගැන්සි වලට ඇදගනීවි…
ගෑනු ළමයි අල්ලලා දේවි…
කුඩු දේවි…
බොන්න දේවි…
ඕවාට අහුවෙන්න එපා…
පරණ හොස්ටල් එකේ යාලුවෝ ආස්සරේ කරාට නම් කමක් නෑ…
ඔන්න ඔය විදිහට එක එක තහංචි.

බැලුවාම ඉතින් ඒක එක පැත්තකින් හරි… මේ ලෝකේ මුදල් වලට කෙරෙන වැඩයි… තරඟකාරී බව නිසයි… අපි නිකම්ම කොටුවෙලා…
ආරංචි විදිහට ඇඹිලිපිටිය පැත්තේ ඉස්කෝලෙක අයියලා සෙට් එකක් ගංජා ගහලා හෝටලයකට ගිහිල්ලා… ඇවිල්ලා හිටපු Tourist ලා කට්ටියකයේ බඩු වගයකුත් කොල්ල කාලා ලු.
අයියෝ… අයියෝ…. අපේ තාරුණ්‍යය! මොකට කොළඹ ආවාද මන්දා… ගමට වෙලා වැඩක් කරගෙන හිටියානං මේ මොන මඟුලක්වත් නෑ නෙව.

Categories
අධ්‍යාපනික අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම.

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක නම් නපුරු හීනයක් වේවි. ඔව්. මේ Google වැඩසටහන් අතුරින්, ඉතාමත් වැදගත්ම වැඩසටහනක් තමයි Google Translate කියන්නේ.

මොකක්ද මේ Google Translate?
අන්තර්ජාලය හරහා Google Translate භාවිතා කරමින්, ඔබට පුලුවන් භාෂා 30කටත් වැඩි ප්‍රමාණයක් සමඟ ගනු දෙනු කරන්න. භාෂා පරිවර්තන කටයුතු සඳහා භාවිතා කරන ඉතාමත් වැදගන් ජාලගත උපාංගයක් තමයි ‍මේ. ඔබට Google Translate ගැන වැඩි විස්තර අවශ්‍ය නම්, මෙතැනින් පිවිසෙන්න.

මම මේ ඒකේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න නෙමෙයි මේ හදන්නේ. මම මේ හදන්නේ Google Translate වැඩසටහනට, සිංහල භාෂාව එකතුවුනොත් මොනවාද කරන්න පුලුවන් කියන දේ කතා කරන්න. ඒකේ ඇති වැදගත්කම කතා කරන්න. ඒකට Sinhala එකතු කරන්න ‍මොනවාද කරන්න ඕනේ කියලා කතා බහක් ඇතිකරන්න. මේ සඳහා ක්‍රියාකිරීමට කැමැත්තෙන් සිටින අයට පෙළඹවීමක් ඇති කරන්න.

අධ්‍යාපනය සඳහා Google Translate

අධ්‍යාපනය, ඔව් ඒක තමයි අංක එක. අන්තර්ජාලය දැනුම සාගරයක් කියන එක අපි හැමෝම දන්නා කාරණයක් නේ. ඉතින් මේ දැනුම සාගරයේ දැනුම බො‍හෝවිට, 99.9999%ක්ම පදනම් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඉතින් ඒ ඉංග්‍රීසියෙන් ලියැවිලා තියෙන වෙබ් අඩවි අපිට Google Translate වලට සිංහල භාෂාව එකතු කිරීම හරහා සිංහල භාෂාවට පරිවර්තනය කරගන්න පුලුවන්‍ වේවි. එතකොට අන්තර්ජාලය භාවිතා කරන සිසුන්ට (පාසල්, විශ්වවිද්‍යාල…..) තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරගන්න. ඉංග්‍රීසි භාෂාවට දුර්වල ගම්බද පාසල් වල අයට අන්තර්ජාල පහසුකම් ලබාදීලා, Google Translate සඳහා සිංහල එකතු කරලා ඒක ඔවුන්ට භාවිතා කරන්න දුන්නොත් කොහොමට හිටීවිද? නිකම් හිතලා බලන්න. ඔවුන්ට දැනුම් සම්භාරයක් මේ හරහා ග්‍රහණය කරගන්න පුලුවන් ‍වේවි. ඒ වගේම වක්‍රාකාරව ඉංග්‍රීසි භාෂාන අධ්‍යයනයටත් එක විශාල පිටිවහලක් වේවි.

විනෝදාස්වාදය සඳහා Google Translate

විනෝදය, ඒක අධ්‍යාපනයට යටින් :). අන්තර්ජාලය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට විතරක් නෙවෙයිනේ, විනෝදාස්වාදය සඳහාත් අන්තර්ජාලය ඉතාමත් වැදගත් තැනක්නේ. අන්තර්ජාලයේ ඉංග්‍රීසි, හින්දි, අරාබි, හෝ වෙනත් භාෂාවකින් ලියැවිලා තියෙන බ්ලොග් සටහන් කියවන්න පුලුවන් වේවි. වෙනත් රට රට වල ඉන්න අන්තර්ජාල යාලුවෝ එක්ක ඔවුන්ගේ භාෂාවෙන් පණිවිඩ හුවමාරු කරගන්න හැකිවේවි. ඉතින් විනෝදාස්වාදය සඳහා Google Translate දායකත්වය දක්වන්නේ ඒ විදිහට. ආ ඒ විතරක් නෙවෙයි, අපිට චිත්‍රපටි වල Subtitles වුනත් ඉතාමත් ඉක්මනින් සිංහලට හරවන්න හැකිවේවි. එතකොට ඔන්න හින්දි චිත්‍රපටි බලන්න Language Barrier නැතිවේවි.

අන්තර්ජාල ජනමාධ්‍යකරණය සඳහා Google Translate

මේකත් ඉතාමත් වැදගත් දෙයක් අපි වගේ සිංහල බ්ලොග්කාරයන්ට. සිංහල බ්ලොග් කියවන පාඨක පිරිස සාපේක්ෂව ගත්තොත් ඉතාමත්ම අඩුයි. ඉතින් අපිට පුලුවන් අමතර මහන්සියක් නැතිව අපි ලියපු බ්ලොග් සටහන වෙනත් භාෂාවකට හරවලා අනිත් අයටත් කියවන්න සලස්වන්න. එතකොට ලෝකය පුරාම අපේ බ්ලොග් වලට පාඨක පිරිසක් හිදීවි. එළ නේද? 😉

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න Google Translate 😉

ම්… නරකම නෑ ‍නේද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තියෙනවානං 😀 . ඉතින් Google Translate දායක වෙන්නේ මෙහෙමයි, අපි දන්නවානේ Google Adsense සිංහල භාෂාව සඳහා දායකත්වය දක්වන්නේ නෑ කියලා. ඒ කියන්නේ අපි සිංහල අන්තර්ගතයක් තියෙන වෙබ් පිටුවකට Adsense දැන්වීම් දැම්මොත් අපිට පෙන්නන්නේ මහජන සේවා දැන්වීම්. මේකට හේතු වෙන්නේ සිංහල භාෂාවෙන් දැන්වීම් නැති කමත්, සිංහල භාෂාව Google Translate වලට හරිහැටි අඳුරාගන්නත් බැරි නිසා. ඉතින් එතකොට අපිට පුලුවන් සිංහලෙන් තියෙන ‍‍දේ, ඉංග්‍රීසියට පරිවර්තනය කරලා වෙනම තැනක Adsense දැන්වීම් එක්ක එකතුකරන්න. එතකොට ඔන්න Adsense දැන්වීම් පෙන්නාවි.

මෙහෙමයි, Google Translate මිනිසකු පරිවර්තනය කරන විදිහටම පරිවර්තන කටයුතු කරන්නේ නැති බව ඇත්ත. ඒ වුනත්. අපිට ඒ ඇති වන වැරදි තැන නිවැරදි කර‍ගෙන කියවන්න පුලුවන්නේ…

ඉතින්. අපි දැන් බලන්න ඕනේ කොහොමද Google Translate සඳහා සිංහල භාෂාව එකතු කරන්නේ කියලා. ඇත්තටම ඒක කියන තරම් ලේසි වෙන එකක් නැති වෙන්නත් පුලුවන්. ඒ වුනාට අපිට ප්‍රමාණවත් තරම් සම්පත් දායකයන් ඉන්නා බවයි මගේ හැඟීම. මේ සඳහා ICTA වැනි ආයතනයක් මූලිකත්වය ගත්තත් මගේ ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් විදිහට.

මේ සඳහා භාෂාව පිළිබඳ දැනුමැති අය අවශ්‍ය වෙනවා
ඒ වගේම අන්තර්ජාලය, අන්තර්ජාලයේ භාවිතා වන තාක්ෂණික වචන පිළිබඳව දැනුවත් අයත් අවශ්‍යයි.
ඒ වගේම මේ සඳහා ස්වේච්ඡාවෙන් වැඩකරන්න කැමති අය එකතු කරගැනීම වැදගත්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේකට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙනවානං හොඳයි ඔය ගහමරාගන්නවාට වඩා 😀

ඉතින් අපි මොනවාද මේකට කරන්න ඕනේ? පරිගණක සඟරාවේ කතුවැකියකත් මං දැක්කා පොඩි අභියෝගයක් සිංහල යුනිකේතයට එල්ල කරලා තියෙනවා කියලා…
හිතුවොත් වැඩක් කරන්න නම් බැරි කමක් නම් නෑ!!