Categories
විවිධ

වර්තමාන තරුණයාගේ තාරුණ්‍යය?

මේක නම් විශාල ප්‍රශ්නයක්. මම මේක ලියන්නද? නොලියන්නද කියලයි කල්පනා කරේ. දැන් නගරබද පාසල් වල ඉගෙනගන්න සිසුන්ට තමන්ගේ තරුණ කාලය විනෝදයෙන් ගෙවාගන්න විදිහක් නෑ. ඉගෙනගන්නත් අවශ්‍යයි තමයි. ඒත් ඉගෙනීමට විතරක් සීමා වෙලා හිටියොත් ඉස්සරහට ලංකාවට බිහිවෙන්නේ ඉතාමත් අසමබර පුරවැසියන්. හරියට නිකම් රො‍බෝවරුන් වගේ. උදේට නැගිටිනවා, කනවා, රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා, නිදාගන්නවා… එච්චරයි. හැමදාම එකම ‍දේ. හරිම ඒකාකාරී රටාවක් බිහිවේවි ඉස්සරහට. නිකම් ඉපදිලා, මැරිලා යන එක විතරයි වෙන්නේ. ඉපදිච්ච රටට, ලෝකයට අලුත් දෙයක් කරලා යනවානං, අන්න ඒක ලොකු දෙයක්. වි‍ශේෂයෙන්ම මේ තරණ කාලය පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ කාලය, නිර්මාණාත්ම‍ක දේවල් ඉදිරිපත් කරන්න පෙළඹෙන කාලයක්. අලුතෙන් යමක් හිතන්න තමන්ගේ මනස වෙනස් වෙන කාලයක්. වෙනත් බාධක මනසට එල්ලවෙන්නෙත් නෑ… (වැඩිහිටියන් එක්ක සාපේක්ෂව ගත්තොත්)

පන්ති පන්ති පන්ති. මට හිතෙන විදිහට උසස් පෙළ කරන කා‍ලේ තමයි ජීවිතේ තියෙන හොඳම කාලෙ. ඇයි පන්ති වලට හිරවෙන්නේ? මම තාම ඉස්කෝලේ A/L පටන්ගත්තේවත් නෑ. ඒත් පන්ති පටන් ඇරගෙන. තරඟය තරඟය තරඟය. සමහර අය පන්ති හත අටකටවත් යනවා කියලා තමයි ආරන්චි. එකම විෂයට පන්ති දෙක තුන. මේක ළමයින්ට අවශ්‍ය නිසා වෙන දෙයක් නෙවෙයි. බොහෝ විට දෙමව්පියන්ට අවශ්‍ය නිසා වෙන දෙයක්. ඒ වගේම සල්ලි කඩාගන්න බලාගෙන ඉන්න ගුරුවරුන්ගේ අවශ්‍යතාවටත් මේ වගේ දේවල් සිදුවනවා. බලන්න. එක Group Class එකකට කොළඹදී රුපියල් 1200/=යි Mass Class එකකට රුපියල් 600/= සල්ලිත් නිකන් වියදම් වෙනවා වැඩිපුර පන්ති ගියාම කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම මම හිතන්නේ ගොඩක් දේවල් පැටලැවෙන්නත් පුලුවන්. ඔන්න After O/L ඉවරවෙලා කරන්නම දෙයක් නැතිනම්… හොඳ වෘත්තිමය පාඨමාලා ටිකකට අත ගහන එක ඇඟට ගුණ වේවි.

නිදහසේ හිතන්න වෙලාවක් ඉතිරිකරගත්තොත්… ඒක හුඟක් වාසිදායක වේවි. හැමෝටම බැහැ ඉංජිනේරුවෝ, දොස්තරලා වෙන්න. නිර්මාණාත්මකව හිතලා යමක් කරොත් ගොඩේ ගොඩ. අන්තර්ජාලයේම ඕන තරම් උදාහරණ තියෙනවා. Google, Yahoo එවාට උදාහරණ දෙකක් විතරයි.

ඊළඟට භායානකම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය. “මරණය” බ්ලොග් අඩවියේ කලින් ලියැවිලා තිබුනා මේ ගැන. මෙන්න මේක නිසා වර්තමා‍නයේ විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය ජීවිත ‍විනාශ වෙනවා කියන එක… අලුත් දෙයක් නෙවෙයි. අලුත් දෙයක් නොවුනාට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ඇරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මම වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ. වැඩි විස්තර “මරණය” බ්ලොග් අඩවියෙන් බලාගන්න.

තව සීන් ගොඩයි… කොළඹ වගේම, වෙනත් තදාසන්න ප්‍රදේශවල ‍පාසල් ශිෂ්‍යයින්… දැන් ගණිකාවනුත් හොයාගෙන යනවාලු… වයසත් අඩු නිසා… බැරි වෙලාවත් සමාජ රෝගයක් හැදුනොත්? උහ්! විනාසයි!

මට මේ ප්‍රශ්නේ ඇතිවුනේ සා.ගා බලන්න යන්න ගිහින්. කෝ… බලන්න යන්න දුන්නේ නෑ නෙව. A/L පටන්ගත්තා විතරයි දැන් තහංචි වැඩියි. කලින් නම් ෆිල්ම් එකක් හරි බලන්න ගියා. ඒත් දැන්නම් බැරිවෙන පාටයි. අපේ අම්මා ගුරුවරියක් නෙව. ඉතින් ඔය Staff Room එක ගැන කතා කරන්න දෙයක් ‍නෑනේ. ඕපා-දූප සාගරයයි. ඉතින් වෙන ගුරුවරුත් ඇවිල්ලා අම්මාගේ කනේ තියනවා කොළඹ තියෙන ඔක්කොම දහ ජරා වැඩ ටික. ඉතින් ඒක නිසා… අපිට දැන් ගෙයිං එළියට බහින්නත් බැරි තරමට තහංචි.

වෙන ඉස්කෝල වල අය එක්ක කතා කරන්න යන්න එපා…
පොත ‍දෙන්න යන්න එපා…
ගැන්සි වලට යන්න එපා….
ඒ අය තමුන්ව අල්ලගෙන ඒ අ‍ය‍ගේ ගැන්සි වලට ඇදගනීවි…
ගෑනු ළමයි අල්ලලා දේවි…
කුඩු දේවි…
බොන්න දේවි…
ඕවාට අහුවෙන්න එපා…
පරණ හොස්ටල් එකේ යාලුවෝ ආස්සරේ කරාට නම් කමක් නෑ…
ඔන්න ඔය විදිහට එක එක තහංචි.

බැලුවාම ඉතින් ඒක එක පැත්තකින් හරි… මේ ලෝකේ මුදල් වලට කෙරෙන වැඩයි… තරඟකාරී බව නිසයි… අපි නිකම්ම කොටුවෙලා…
ආරංචි විදිහට ඇඹිලිපිටිය පැත්තේ ඉස්කෝලෙක අයියලා සෙට් එකක් ගංජා ගහලා හෝටලයකට ගිහිල්ලා… ඇවිල්ලා හිටපු Tourist ලා කට්ටියකයේ බඩු වගයකුත් කොල්ල කාලා ලු.
අයියෝ… අයියෝ…. අපේ තාරුණ්‍යය! මොකට කොළඹ ආවාද මන්දා… ගමට වෙලා වැඩක් කරගෙන හිටියානං මේ මොන මඟුලක්වත් නෑ නෙව.