Categories
අන්තර්ජාලය විවිධ

ඔබේම අන්තර්ජාල නිවහනක්!

කවුද අකමැති තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න.  ලෝකයේ වෙබ් අඩවි අතුරින් තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන් අන්තර්ජා‍ලයේ තමන්ගේම අනන්‍යතාවක් නිර්මාණය කරගැනීම තුලින් වාසි රැසක් හිමිවෙනවා. ඒ වගේම, සල්ලි හොයන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා 😀 . අන්තර්ජාලයට මේ වන විට දිනෙන් දින තොරතුරු රාශියක් එකතුවෙනවා. මේ විනාඩිය තුලදීත් අන්තර්ජාලයට එක්වන දත්ත ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්. ඉතින් මේ දත්ත හරිද, වැරදිද කියලා බලන්න කවුරුවත් නෑ. ඇත්තෙන්ම කියනවානම් අන්තර්ජාලය තුල කිසිවෙකුට ඒකාධිකාරයක් නෑ. නමුත් ඔබටත් පුළුවන් අන්තර්ජාලයට ඒ විවිධ දේ එකතු කරලා තමන්ටම කියලා රසික පිරිසක් එකතු කරගන්න. ඔබ සමහර විට ගායකයෙක්, චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දක්ෂ රචකයෙක් වෙන්නත් පුළුවන් ඔබට මාධ්‍ය අනුග්‍රහයක් ලබා ගැනීම අපහසු නම්, අන්තර්ජාලය තමයි ඒකට නියම තැන. ඉතාමත් සුළු මුදලක් වියදම් කරලා, එහෙමත් නැත්නම් නොමිලේම ඔබේම වෙබ් අඩවියක් අන්තර්ජාලයේ මේ වන විට විවෘත කරගන්න පුළුවන්. මේ වන විට ලෝකයේ මාස 1ක් වයසැති දරුවෙක් ඉඳලා වයසක සීයා ආචිචි කෙනෙක් වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය වන බව ඔබ දන්නවාද?. ඒ වගේම පුරවැසි මාධ්‍යකරණය පුළුල්වීමෙන් නිර්මාණය වන්නාවූ බ්ලොග් අඩවි වලටද මේ වන විට අති විශාල පිළිගැනීමක් තිබෙනවා.

ඔබේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට නම් ඔබට යම්තාක් දුරකට වෙබ් පිටු නිර්මාණය කිරීමට යොදාගනු ලබන භාෂාවක් පිළිබඳ දැනීමක් තිබීම වැදගත්. මේ වෙබ් පිටු නිර්මාණයට යොදා ගන්නා භාෂාවන් කිහිපයක් HTML, PHP, ASP ලෙස දැක්විය හැකියි. මේ අතුරින් HTML සරල, පහසු භාෂා ක්‍රමයක්. PHP හා ASP භාවිතයට නම් යම් කිසි විශේෂ දැනුමක් තිබීම වැදගත්. එමෙන්ම Database පිළිබඳ දැනීමක්ද ඔබ සතු වනවානම් එය ඔ‍බේ වෙබ් අඩවියට වටිනාකමක් එක් කිරීමට සමත් වේවි.

වෙබ් අඩවි නිර්මාණයට විශේෂ මෘදුකංග අත්‍යවශ්‍යම නෑ. ඔබගේ පරිගණකයේ නෝට්පෑඩ් (NotePad) මෘදුකාංගය භාවිතයෙන්ම වෙබ් පිටු නිර්මාණය කරගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම වෙබ් අඩවි නිර්මාණය සඳහා ඔබට Adobe / Macromedia Dreamweaver මෘදුකාංගයද මයික්‍රෝසොෆ්ට් ෆ්‍රන්ට්පේජ් මෘදුකාංගයද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඩ්‍රීම්වීවර් මෘදුකාංගය තුලින් නම් ඔබට විශේෂාංග රැසක් ලබා ගැනීමට හැකියි.

වෙබ් පිටු නිර්මාණය කරාට විතරක් නම් මදි. මේ වෙබ් අඩවි අන්තර්ජා‍ලයේ ස්ථාපනය කරන්නත් ඕනේ. අන්තර්ජාලයේ ස්ථාපනය කිරීමට ඔ‍බට ඔබේ පරිගණකය වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක ටිකක් කරදරකාරී වැඩක්. මේ සඳහා ඔබේ පරිගණයක අවුරුද්ද පුරාම, පැය 24පුරාම අන්තර්ජාලය සමඟ සම්බන්ධ කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් මේක හරිම අමාරු අපහසු දෙයක්. පැය 24 පුරාම අන්තර්ජාල සම්බන්ධතාවය තිබුනත්, ඔබට පැය විසි හතර පුරාවටම විදුලිය ලබාගැනීම අපහසු දෙයක්. මේ නිසා හොඳම ක්‍රමය තමයි, ඔබේ වෙබ් අඩවිය පැය 24 පුරාවටම අන්තර්ජාලයට සම්බන්ධ, නොකඩවා විදුලිය ලබාගන්නා අන්තර්ජාල සේවාදායකයක් (Server) මෙම සේවා වලට භාවිතා කරන වදන තමයි වෙබ් සංග්‍රාහක සේවා එහෙමත් නැත්නම් වෙබ් හෝස්ටින්ග් සේවා (Web Hosting Services). වර්තමානයේ වෙබ් ‍හෝස්ටින්ග් සේවා විශ‍ාල ප්‍රමාණයක් දැකිය හැකියි. මෙම සේවාවන් අතුරින් සමහරක් සේවාවන් ඉතාමත් උසස්ගණයේ සේවාවන් වන අතර සමහරක් නම් සේවාව අතින් අන්තිමයි. ලාභයි වගේ පෙනුනාට මෙම සේවාවන්හි, පාරිභෝගික සහය අන්තිමයි. එමෙන්ම සේවාදායකය ක්‍රියාවිරහිත වීමේ කාල පරාසය, (Downtime) සම්භාවිතාවය අධිකයි. එම නිසා වඩා ‍හොඳ වෙබ් හෝස්ටින්ග් සේවාවක් තෝරාගැනීම වැදගත් වෙනවා. ඔබ ගූගල් හෝ එවැනි සෙවුම් යන්ත්‍රයක Web Hosting වදන යොදා සෙවූ සැනින් ඔබට වෙබ් අඩවි සපයන ආයතන ගනනාවකම වෙබ් ලිපින දැක ගැනීමට හැකියි. එම නිසා ‍ඔබේම වෙබ් අඩවියක් ආරම්භ කිරීමට කලින්, වෙබ් හෝස්ට්න්ග් සේවා ගැන හොඳින් දන්නා මිතුරෙකුගෙන්, ඔබ මිළදීගැනීමට අදහස් කරන ආයතනය පිළිබඳ විමසා දැනගැනීම වැදගත් වෙනවා. වර්තමානයේදී ඔබේ වෙබ් අඩවි ස්ථාපනය සඳහා මුදල් අය නොකරන සමාගම් රාශියක් බිහි වෙලා තිබෙනවා. මෙම සේවාවන් මුළදී කිව් ආකාරයේ මුදල් ගෙවා ලබාගන්නා සේවාදායක වලට වඩා සාපේක්ෂව අඩු පහසුකම් තමයි ලබා දෙන්නේ. මෙම නොමිලේ වෙබ් ඉඩ සපයන ආයතන මුදල් සපයාගනු ලබන්නේ. ඔබට ලබාදෙන වෙබ් අඩවියේ ඔවුන්ගේ දැන්වීම් ප්‍රදර්ශනය කරමිනුයි එසේත් නැතිනම් ඔවුන් ඔබට සපයන වෙබ් අඩවි Control Panel එක තුල ඔබට දැන්වීම් ප්‍රදර්ශනය කරනු ලබනවා. එහෙමත් නැතිනම් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයට නිතිපතා දැන්වීම් යොමු කරනවා. එසේත් නැතිනම්, ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය ස්පෑම් කිරීමකටද ලක් කර හැකියි. මෙනිසා නොමිලේ වෙබ් ඉඩ සපයන වෙබ් අඩවි පිළිබඳ මඳක් සොයා තෝරාගන්නවානම් හොඳයි.

මීළඟට වැදගත් වෙනුයේ ඩොමේන් නාමයයි. උදාහරණයක් විදිහට ඔබ ඔ‍බගේ ඔබ ගැන එහෙමත් නැත්නම් ඔබේ පුද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් ඔබේ නම ඇතුලත් කර ඩොමේන් නාමයක් ලබා ගැනීමට හැකියි. උදාහරණයක් විදිහට මගේ වෙබ් අඩවියේ ඩොමේන් නාමය වන www.sudaraka.com හා මලින්ත සමරකෝන්ගේ අයියාගේ වෙබ් අඩවියේ ඩොමේන් නාමය වන www.malinthe.com දැක්විය හැකියි. එමෙන්ම ඔබට පුළුවන් ඒ ඩොමේන් නාමයට තවත් සබ් ඩොමේන් නාමයන් එකතු කරගන්න. සබ් ඩොමේන් නාමය කෙටියෙන් හැඳින්වුවොත් හරියට ඩොමේන් නාමයක් ඇතුලේ ඩොමේන් නාමයක් වගේ එකක්. ඒ කියන්නේ ඔබට ඔබේ අඩවියට තවත් උප අංශයක් ඇතුලත් කොට එයට පහසුවෙන් පිවිසීමට අන් අයට උපකාරී වීමක් තමා සාමාන්‍යයෙන් සබ් ‍ඩොමේන් නාමයක් තුලින් කෙරෙන්නේ. මේ සඳහා උදාහරණයක් විදිහට ඔබ දැන් පිවිසී සිටින මගේ පුද්ගලික බ්ලොග් අඩවිය වන http://blog.sudaraka.com හා මලින්‍තගේ සටහන http://blog.malinthe.com දැක්වීමට හැකියි. මේ ඩොමේන් නාම සාමාන්‍යයෙන් නොමිලේ නම් ලැබෙන්නේ නෑ. ඩොමේන් නාම වල විවිධ extension තියෙනවා. උදාහරණ වශයෙන් .com , .net, .info, .org, .asia, .lk ලෙස දැක්විය හැකියි වර්තමානයේ ‍ඩොමේන extension විශාල ප්‍රමාණයක් දැකීමට හැකියි. නමුත් වැඩියෙන්ම ජනප්‍රිය extension එක වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔබ දන්නවාද? ඔව් ඔබ හරි! .com තමයි වර්තමානයේ ජනප්‍රියම Domain Extension එක වෙලා තියෙන්නේ.  විවිධ රටවලට මේ වන විට Domain Extension වෙන වෙනම දක්නට ලැබෙනවා. ඒ අතුරින් අපේ ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන .Domain Extension එක තමයි .lk කියන extension එක. චීනයට .cn, ඉන්දියාවට .in විදිහට ඒ ඒ රටවලට ආවේණික extension තිබුනත්, මෑතක් වෙනතුරුම අමෙරිකාවට නම් වෙනම extension එකක් තිබුනේ නෑ. අමෙරිකාව කෙලින්ම භාවිතා ‍කරේ .com කියන extension එකම තමයි. ඒකට හේතුව වුනේ අමෙරිකාවේ තමයි මුලින්ම අන්තර්ජාලය භාවිතයට පැමිණීම. නමුත් මේ ඩොමේන් නාම එක් එක් අයට බෙදී යාමේ සීඝ්‍රතාවය නිසාම අමෙරිකාවත් තමන්ගේම ඩොමේන අනන්‍යතාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවු‍න්ගේ ඩොමේන extension එක තමයි .us කියන්නේ. ඒ වගේම ඩොමේන් නාමය තමයි වෙබ් අඩවියක තියෙන අනන්‍යතාවය සනිටුහන් කිරීමේ ප්‍රධාන සාධකය. ඒ කියන්නේ ඩොමේන් නාමය තමයි වෙබ් අඩවියක හැඳුනුම්පත. සාමාන්‍යයෙන් බොහෝ වෙබ් ඉඩ සපයන සමාගම් තමන්ගේ පාරිභෝගිකයින්ට ඩොමේන් නාම ලියාපදිංචි කරදෙනවා. සමහර ආයතන තමන්ගේ සේවාවන්ට පාරිභෝගිකයින් ඇද ගැනීමට ඔවුන්ගේ වෙබ් ඉඩ ලබාදීමේ පැකේජ සමඟ අමතර ගාස්තුවකින් තොරවම ඩොමේන් නාමයන් ලියාපදිංචි කර ලබාදෙනවා. නමුත් ඔබට හැකියාවක් තියෙනවානම් ඔබටම පුළුවන් ඔබේ ඩොමේන් නාමය ලියාපදිංචි කරගන්න. ඔබටම එය එසේ ලියාපදිංචි කරගත හැකිනම් එය ඉතාමත් වැදගත් වනවා. එසේ ඔබම ඔබේ ඩොමේන් නාමය ලියාපදිංචි කරගැනීම තුලින් ඔබේ ඩොමේන් නාමයේ පාලනය ඔබ අතට පහසුවෙන් ලබාගත හැකියි. අන්තර්ජාතිය ඩොමේන් නාම ලියාපදිංචියේදී නම් පෙරමුණෙන්ම සිටින්නේ ගෝඩැඩී (GoDaddy) හා නේම්චීප් (NameCheap) යන ආයතන තමයි.  .lk ඩොමේන නාම ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් www.nic.lk වෙතට පිවිසෙන්න.  (.lk ඩොමේන් නාම ලියාපදිංචියේ ක්‍රමවේදය නම් මගේ කිසිම පැහැදීමක් නෑ. මම ඒ ගැන පසුව ලියන්නම්.) ඔබට ඩොමේන් නාමයක් මිළදී ගැනීමට අපහසු නම් ඔබ පුළුවන් www.co.cc සබ් ඩොමේන් නාමයක් නොමිලේම ලබාගන්න. මෙහිදී ඔබට මුදල් දී ලබාගන්නා ඩොමේන් නාමයක ඇති පහසුකම්ම ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙයට අමතරව බොහෝ නොමිලේ වෙබ් ඉඩ සපයන වෙබ් අඩවි තුලින්ද නොමිලේ සබ් ඩොමේන් නාම ලබා දෙනවා. උදාහරණක් විදිහට නොමිලේ වෙබ් ඉඩ ලබාදෙන http://www.freelk.info වෙබ් අඩවිය වෙතින් ඔබට http://you.freelk.info හෝ http://example.freelk.info වැනි නොමිලේ සබ් ඩොමේන් නාමයක් ලබාගැනීමට හැකියි.

මේ ලිව්වේ මූලික කරුණු කිහිපයක් විතරයි. මේ ක්ෂේත්‍රය මතුපිටින් සරල වුනාට, ටිකක් බැරෑරුම් දෙයක්. වෙබ් අඩවියක් නිර්මාණය කරලා, ඩොමේන් නාමයක් ඇරගෙන, වෙබ් ඉඩත් ඇරගෙන වෙබ් අඩවිය පටන්ගත්තායි කියමුකෝ. එ‍තකොට ඔක්කොම ඉවරයි දැන් හරි කියලානම් හිතන්න එපා. නියම යු‍ද්දේ පටන් ගන්නේ එතකොට තමයි. ඒවා ගැන මම පසුවට ලියන්නම්. එතෙක්  http://www.w3schools.com වෙබ් අඩවියට පිවිසිලා වෙබ් අඩවි නිර්මාණය හා අනෙකුත් දෑ පිළිබඳ දැනුවත් වෙන්න. හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වාලු!