Categories
ශ්‍රී ලංකා

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය

Sri Lanka

සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු උදෑසන මීදුමත් එක්ක සුදාරකට ජාතික කොඩි පෙනුනේ තවත් හිරු දහසක ආලෝකයෙන්. ජාතික කොඩියේ සිංහයා සුදාරකට අත වැනුවා. බෝපත් ලෙළදුන්නා. කොළපැහැති තීරුවෙන් මුස්ලිම් ජාතිකයෙක් සුදාරක ළඟට ඇවිත් “අපි නිදහස්” කිව්වා. තැඹීලි පැහැති තීරුවෙන් දමිළ ජාතිකයෙක් ඉදිරියට ඇවිත් “අපිත් නිදහස්” කිව්වා. සුදාරක, “ඔව්, අපි හැමෝම නිදහස්” කිව්වා.

ඔව්, වසර තිහකට ආසන්න කාලයක් පුරාවට හිඟන්නාගේ තුවාලය පාරමින් බෙහෙත් අරගන්න එක එක විදේශයන්ගෙන් ආධාර උපකාර ඉල්ලුවා. විදේශ මුදලාලිලා තුවාලයට බෙහෙත් දීලා සුව වෙනකොට ආයෙත් ඇඟිල්ලෙන් ඇනලා හිඟන්නාගේ තුවාලය පෑරුවා. රට ණය බරින් මිරිකුනා. හිඟන්නාට මරණ බියක් ඇතිවුනා. ඒත්… එක්තරා නි‍මේශයකදී මේ හිඟන්නා අලු ගසා දමමින් නැගිට්ටා. මිට අවුරුදු ගානකට කලින් තිබ්බ ප්‍රතිශක්තිය නැවතත් ලබාගත්තා. විදේශ මුදලාලිලාට පයිං ගහලා එලවලා දැම්මා. තුවාලය ආපහු සුවවෙන්න පටන්ගත්තා. ඇඟිලි ගහන්න ආපු උන්දැලාට සිද්ධ වුනේ ආපහු තමන්ගේ ඇඟිල්ල අරගෙන තමන්ගේ නිවෙස් කරා පියාඹන්න. තාමත් අපි ආර්ථික වශයෙන් හිඟන්නෝ. තාමත් අපිගාව තියෙන්නේ පරණ කළා නිර්මාණ. තාමත් අපිට ඉතුරුවෙලා තියෙන්නේ පරණ ඇල වේලි. බෙහෙත් ගන්නයි, අරවා මේවාටයි ගත්තු ණය ගොඩගැහිලා. අම්මලාට තමන්ගේ සැමියන් නෑ. පුතාලාට තාත්තලා නෑ. මේ වගේ තවත් ඥාති සම්බන්ධතාවන් විශාල ප්‍රමාණයක් අපි දන් දුන්නා…

අවුරුදු 30ක් පුරාම හිඟන්නාගේ ඇඟ උඩ වාඩිවෙලා හිඟන්නාව පාලනය කරන්න “හදපු” උදවිය… බෑ බෑ… අපිට මේ තුවාලේ සුව කරන්න බෑ. අපි තුවාලේ ගලවලා කකුල අත පහ කපලා හිඟන්නාව බෙදමු කියලා කෑ ගැහුවා. ඉතින් දැන්… ඒ සුව කරන්න බැරි වුන තුවාලය සුව වෙලා. නිකම්ම නෙවෙයි. විශාල කැපකිරීම් රැසකුත් එක්කයි ඒ තුවාලය සුව කරන්න වුනේ. ඒ තුවාලය මුලු සිරුර පුරාම ඔඩු දුවන්න පටන්ගත්තු නිසයි.

සුදාරක ඊයේ ඉස්කෝලෙට ගිහින් එන ගමන් මගේදී, මුලු පාර පුරාවටම මතුවුනේ වෙඩි බෙහෙත් ගඳ නෙවෙයි. රතිඤ්ඤා ගඳ.   වෙඩි බෙහෙත් ගඳ මැකිලා ගිහින් කියලා සුදාරකට හිතුනා. කන ළඟින් පත්තුවෙන රතිඤ්ඤා සද්දෙට ගෑනු ළමයි ගැස්සිලා ගියා සුදාරක දැක්කා. ජාතික කොඩිය මිනිස්සු තමන්ගේ ගෙවල්වල, ආයතනයක ඔසවනවා සුදාරක බලාගෙන. සමහරු ජාතික කොඩිය තමන් අතේම තියාගෙන සීරුවෙන් ‍වගේ නැගිටලා හිටියත් සුදාරක දැක්කා. ජාතික කොඩිය ඔසවාගෙන එහේ මෙ‍හේ දුවමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවාත් සුදාරක දැක්කා. බෝම්බ බයකුත් මීට කාලෙක‍ට කලින් ඇතිවෙලා තිබුන නිසා සුදාරකගේ හද ගැස්ම වැඩි වුනේ බැරි වෙලාවත් මේ සද්ද බද්ද අතරින් බෝම්බ සද්දයක්වත් ඇහේවි කියලා මර බියෙන්. ඒත් වාසනාවට එහෙම වුනේ නෑ. එහෙම වෙන එකකුත් නෑ. සුදාරකට හිතුනා.

අපිට දැන් සම්පූර්ණ රටක් තියෙනවා. මේ රට දියුණු කරන්න අපට පුලුවන්. සියලු සම්පත් සියළු ජාතීන් අතර බෙදිලා යන. සියළුම ජාතීන් රටේ දියුණුව උදෙසා කැපවන රටක් අපිට ඉදිරි‍යේදී ලබාගන්න අවශ්‍යයි. ඒක ‍විශාල අභියෝගයක් නෙවෙයි. ශ්‍රී ලංකාව තමන්ගේ මව් භූමිය කියන හැඟීමකුත්. සියල්ලෝ අප ‍සහෝදරයෝ සහෝදරියෝ යැයි හැඟීමකුත් පමණකුයි අපට අවැසි. පරාද කරන්න බෑ කියපු ත්‍රස්තවාදය පරාද කරපු අපිට ඕකත් මහ ලොකු කජ්ජක්ද?

සිංහල කතා කරන මිනිහා සිංහල සාහිත්‍යත්, දෙමළ කතා කරන මිනිහා දෙමළ සාහිත්‍යත්. චිත්‍ර පට කලාවත් දියුණු කරලා මිනිසාට හැඟීම් කාවද්දන්න අවශ්‍යයි. සාහිත්‍ය දියුණුවකින් තොර හු‍දෙක් භෞතික දියුණුවකින් ඉදිරියට ගියොත් ආයෙත් කවදාහරි පීඩිත පංතියක් නිර්මාණය‍ වෙන එක වලක්වන්න අමාරුවෙයි. ඉදින්, සියල්ල මනාව සැලසුම්කරන ලද වඩාත් මානව හිතවාදී ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. සියලු ජනයා අතර තම අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා හැකියාවන්ද දියුණු කිරීමේ වගකීම භාර ගත යුතුයි.

මිනිසත්කමින් පිරුණු සමාජයක් නිර්මාණය කරමු. දියුණුවේ රන් දොරටු විවෘත කරමු. තුවක්‍කුවෙන් නොව හදවතින් කතා කරමු. තම හැකියාවන් හරහා මේ මුලු අභිමානවත් දේශයම අවදි කරමු…!

අපි “ත්‍රස්තවාදයෙන්” නිදහස්!

මෙවන් වූ උතුම් නිදහසක් අප වෙත ලබාදීමට සිය දිවි දෙවැනි කොට කැපවූ අති උතුම් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට හා දේශපාලනික නායත්වය ලබාදුන් අතිගරු ජනපතිඳුන්ට ජාතියේ උත්තමාචාරය!

Categories
ශ්‍රී ලංකා

නිදහසට 60යි!

Sri Lanka Flag

කැමිලස්ගේ සිරිබිරිස් කාටූනය

ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!