Categories
සාහිත්‍ය

කුරුලු හදවත ගැන කෙටි සටහනක්

155842_10151976643308264_826989464_n

ලියනගේ අමරකීර්තිගේ පොතක් විදිහට මුල්වරට කියවෙන්නේ අටවක පුත්තු. තමාගේ රසවිඳීමේ විචාරය තීරණය වෙන්නේ තමන්ගේ පෙර අත්දැකීම් හා තමාගේ වටාපිටාව එක්ක. ඉතින් මට අටවක පුත්තු සෑහෙන්න වැදගත් පොතක් වුනා. පොත කියවන්නේ උසස් පෙළ කරන කාලේ. එහෙම පොතක් නොකියෙව්වානම්, සමහර විට මට ගණිතය අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුනා වෙන්න පුලුවනි. 😛

මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා අපේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්වුන. මනුස්සයා මං ගැන සෑහෙන්න විවේචනයක් අර යාලුවාට දීලා මාව මිතුරුකමෙනුත් අයින් කරන්න කිව්වේ උසස් පෙළ ගණිත අංශයෙන් කරන කෙනෙක් විෂයට පිට පොත් කියවන්න ඇබ්බැහිවුනොත්, එයින් ඇතිවෙන දරුණු විපාක ළඟ මිතුරන්ටත් බලපාන නිසා.

ඒ කතාව ඇත්ත.

කුරුලු හදවත ලියන්නේ අටවක පුත්තු පොතම ලියූ ලියනගේ අමරකීර්ති බව අඳුරගන්න ලැබෙන්නේ ඒ ලියන ශෛලියෙන් සහ කතාවට මුල්වූ පරිසරයෙන්. ඒත් අටවක පුත්තු පොත ලියන අමරකීර්තිගේ ලිවීමේ හැකියාවේ දරුණු පසුබෑමක් පෙන්වන පොතක් තමයි කුරුලු හදවත. ඇයි ඒ?

මම ඉපදෙන්නෙ අනූ දෙක අවුරුද්දේ, හැදෙන්නේ වැඩෙන්නේ රූපවාහිනියත් එක්ක. ගුවන්විදුලිය එක්ක සෑහෙන්න ලොකු සම්බන්ධයක් තිබුනේම නෑ. අනික මම ඉපදෙනකොට ගොඩක් ගුවන් විදුලි චරිත අභාවයට ගිහින්. එහෙම නැතිනම් අභාවප්‍රාප්ත ගන්වලා (ප්‍රේමකීර්ති ද අල්විස්). ඒක නිසා මේ පොතේ මුල් අර්ධයනම් මට දැනුනෙ නෑ. එකම දේ නැවත නැවත කියවෙන නිසා මේ පොත ලියන්නට වැය වුන අවුරුදු හයේ කාල සීමාවේ ලියනගේ අමරකීර්තිට වෙනත් බොහෝ දෑ කරන්නට ඉඩ තිබුනා කියලයි මට නම් හිතුනේ.

ඒ කොහොමවුනත්, කතාවේ අවසාන අර්ධයේ එකතුවන චරිත මේ කතාවට කිසියම් සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන්නට උත්සාහ කරන කතාවේ දේශපාලනය සහ මගේ දේශපාලනය සමපාතවෙන නිසා, පොතෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන දේශපාලනය වෙනුවෙන් ලොකු ඇගයීමක් මගෙන් ලියනගේ අමරකීර්තිට හිමිවෙනවා. මේ පොතෙන් සෑහෙන්න හොඳ දේශපාලනයක් ගෙනියන්න තිබුනා කතාවත් ඒ වගේම ශක්තිමත් වුනානම්. කතාව ඇඟට දැනෙන්නෙ නැති නිසා, ඒකෙන් කී දෙනෙක්ට මේ දේශපාලනය ගෙනියන්න පුලුවන්දැයි කියන එකනම් මට සැකයි.

කොහොමත් මේ පොත ලියනගේ අමරකීර්ති තමන්ගේ ජීවිතයේ රාජකාරි මැද ලියපු පොතක් බව පේන්න තියෙන්නේ පොතේ තියෙන බොහෝ කෙටි පරිච්ඡේදවලින්. සිංහල නවකතාකාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, නවකතා ලියන්නට වෙලාවක් හොයාගන්න නොහැකි වීම. ඒකට ඉතින් ලංකාවෙ ආර්ථික රටාවට දොස් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපිට වුනත් කැම්පස් එකේ නාට්‍යයක් ලියන්න, සින්දුවක් අහන්න, අලුත් නිර්මාණයක් කරන්න වෙලාවක් නෑ. හිතට එන අදහස් උඩට අලුත් තියරි ගොඩගැහෙන නිසා අලුත් නිර්මාණයක් හෝ කවියක් හෝ ලිවීමේ අදහස් ලත් තැනම ලොප් කරනවා.

ඉතින් පුංචි අපට එහෙමනම්, ලොකු රචකයින් ගැන කවර කතා ද?

මේ පොත මෙහෙම වුනත්, ලියනගේ අමරකීර්ති තව මොන විදිහේ පොතක් ලිව්වත් මම කියවනවා. බාගයක් යද්දි පොත පැත්තකින් නොතිව්වේ රචකයාට තියෙන ගෞරවය නිසා මිසක් වෙන යමක් නිසා නෙවෙයි. අනික මේ සටහන අවලාද කිරීමක් නෙවෙයි. මෑතක කියවපු “මාගම් සෝලිය”, “සෙංකොට්ටං” වැනි නවකතාවලට වඩා මේ පොතේ පරිණත සංයමක් තියෙනවා. 3

ඒත් මට ලොකු බයක් තියෙනවා. අපේ අලුත් පරම්පරාවෙ අයට සරත්චන්ද්‍රගේම, හෝ මාර්ටින් වික්‍රමසිංහගේම පොත් “හොඳ පොත්” කියල උදාහරණ වලට පෙන්නන්න වෙයිද කියලා. සමහරවිට සිංහල සාහිත්‍යයේ අභාවය, අනාගතයේ ලංකාවෙ විද්‍යා/ගණිත විෂයයන් කරන දරුවන්ටනම් හොඳක්ම සිදුකරයි. 🙂

ප. ලි:

මේ පොත තුළ දමයන්තගේ කෙරෙන ගෞරව නියෝජනය (Cameo එක?), අටවක පුත්තු පොතේ පාඨකයන් වෙනුවෙන් ලේඛකයා විසින් කරන ආචාරයක් විදිහටයි මම දකින්නේ. 🙂

Categories
විවිධ

සිංහල සාහිත්‍යයේ “ඊ”ළඟ යුගය වැඩි ඈතක නොවේ!

වර්තමානය වන විට සිංහල භාෂා මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි අනෙකුත් භාෂාවන්ට සාපේක්ෂව ඉතාමත් අඩු ප්‍රමාණයකිනුයි පවතින්නේ. නමුත් මෙම බ්ලොග් අඩවි හරහා මේ වන විට සිංහල සාහිත්‍යයේ නව මානයක් විවෘත කරමින් සිටිනවා. මෙය අප හැමදෙනාටම ඉතාමත් අවශ්‍ය කරන්නාවූ දෙයක්. කලින් වැඩිහිටියන්ට පමණක් සීමාවී තිබූ අන්තර්ජාලය මේ වන විශේෂයෙන්ම කොළඹ මධ්‍යගත කරගෙන පාසල් සිසුන් අන්තර්ජාලයට යොමුවෙලා තියෙනවා. නමුත් සාපේක්ෂ වශයෙන් අන්තර්ජායේ ශ්‍රී ලංකා‍වට වැදගත් වන, ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ලබාදෙන දායකත්වය ඉතාමත් අඩුයි. ඔවුන් වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ සමාජ ජාල (Social Networking) වෙබ් අඩවි වෙතයි. කෙසේ නමුත් මා මුලින් පැවසූ ආකරයට අන්තර්ජාලයේ මේ විවෘත වන නව ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රටක් වශයෙන් අපට බොහෝ සෙයින් වැදගත්. සෑම දෙයකම හොඳ පැතිකඩ හා නරක ප්‍රතිඵල තිබෙන්නා මෙන්ම මෙහිදීද හොඳ සහ නරක මිශ්‍රව පවතිනවා.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු ප්‍රදේශවල නැනසල වැනි ආයතන බිහිවී තිබෙන නිසාත්, සිංහල යුනිකේත තාක්ෂණය භාවිතය සාපේක්ෂව වැඩිවී තිබෙන නිසාත් එම නැණසල මධ්‍යස්ථාන හරහා ගම්බද ශිෂයින්ට නිතිපතා තාක්ෂණය සමඟ යාවත්කාල වෙමින් තම දැනුම පුළුල් කර ගැනීමට හැකියාව තිබෙනවා.

නමුත් ඔන්න විශාල අර්බුදයක් ඇතිවීමට හැකියාව තිබෙනවා. එයට හේතුව වන්නේ මෙයයි. තවමත් ගම්බද ප්‍රදේශ වල ඉංග්‍රීසි දැනුම පවතින්නේ යහපත් මට්ටමක නොවේ. එමෙන්න සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට අවශ්‍ය තරමේ ගුරුවරුන්ද සොයාගැනීමට අපහසුයි. එමනිසා අන්තර්ජාලය තුල දැනුම බෙදා දීම සඳහා සිංහල හෝ දමිළ මාධ්‍ය වෙබ් අඩවි ප්‍රමාණය වැඩිවිය යුතුයි. මේ වන විට දමිළ මාධ‍යයේ වෙබ් අඩවි ප්‍රමාණය වැඩි අගයක් ගත්තත් සිංහල මාධ්‍යයේ වෙබ් අඩවි ප්‍රමාණය ඉතාමත් අවම ප්‍රමාණය තිබෙනවා. ඒ අනුව වාණිජ හෝ වාණිජ නොවන පරමාර්ථයකින් සිංහල මාධ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම ආරම්භ කිරීම කළ යුතුයි.

මේ වන විට තමන්ගේ බ්ලොග් අඩවි හරහා ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන්ද සිංහල භාෂාව මාධ්‍යයෙන් අද්‍යාපනික වැදගත්කමක් සහිත ආකාරයකින් නිර්මාණ වෙලා පවතිනවා. එමෙන්ම තමන්ගේ අදහස් උදහස් පළකරන ආකාරයෙන්ද තවත් බ්ලොග් අඩවි තුළ තාමන්ගේ විද්‍යා දැනුම අන් අයට ලබාදීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තවත් බ්ලොග් අඩවි වල තමන්ගේ හිතට නැගෙන සිතුවිලි කවි හෝ නව කතා, කෙටි කතා බවට පත් කොට ප්‍රචාරණය කරමින් සිටිනවා. මේ සියල්ලම අනාගතයේදී අපගේ සාහිත්‍යට විශාල බලපෑමක් කරනු නියතයි. එමෙන්ම මෙම බ්ලොග් අඩවි තුළින් සිදුවන සේවාව ඉතා ඉහළින්ම ඇගයීමකට ලක් කල යුතුයි.

අනෙක් කරුණ නම්, භාෂාව. භාෂාව අපගේ මව් හා සමාන දෙයක් එනිසාම තමයි අපිට මව් භාෂාව යන වදන පරිහරණය කරනු ලබන්නේත්. භාෂාව විනාශ කිරීම අපගේ මව් විනාශ කිරීම තරම්ම සමානයි. නමුත් අන්තර්ජාලය තුලදී සිංහල භාෂාව භාවිතයේදී තාක්ෂණික ගැටළු නිසාම හා තමන්ගේ භාෂා දැනුමේ ඇති දුර්වල භාවය නිසාවෙන් ඇති වන වියරණ ගැටළු සාමාන්‍ය දෙයක් ලෙස සැලකීමට හැකි වුවත් අප අපේම විද්‍යුත් සාහිත්‍යක් නිර්මාණය කිරීමේදී හැකි තාක් දුරකට අක්ෂර පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. මන්දයත්, යම් කිසි සංස්කෘතියක, රටක පැවැත්ම සඳහා භාෂාව ඉතාමත් වැදගත් නිසා. සියළු දෙයහි පැවැත්වෙන අනිත්‍ය ස්වභාවය සිංහල භාෂාවටත් පොදුයි. එම නිසා සිංහල භාෂාවට සිදු වන්නාවූ වෙනස්කම්, වඩාත් හරවත්, ධනාත්මක ආකාරයට යොදා ගත යුතුයි. භාෂාවක් විනාශයට පත් වූවහොත් නැවත ගොඩනැගීම ඉතාමත් අපහසු කාරණයක්.

විවෘත ලෝකය සමඟින් ගනුදෙනු කිරීමේදී ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛත්වයක් ගන්නා නිසා. හැකි තාක් දුරට ඉංග්‍රීසි භාෂාව රට පුරා සිටින සෑම අයෙකුටම ලබා දීම වැදගත්. ශ්‍රී ලංකා‍ව කුඩා රටක් නිසා ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් නැංවීටමට ඉතා විශාල හැකියාවක් තිබෙනවා. එමෙන්ම අප රටෙහි ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය නිසාවෙන් මෙය සිදු කිරීම පහසු කාර්යයක්. නමුත් ඉංග්‍රීසි භාෂාව නිසා ලංකාවේ භාවිත සිංහල හා දමිළ භාෂාවන් අමතක කිරීම නම් ඉතාමත් අවැදගත් වැඩක්. අප හොඳින් හඳුනනා අරිසෙන් අහුබුදු මහතා පවසන ආකාරයෙන් අධ්‍යාපනයේ මුල් කාලය තුළ හැකි උපරිම අයුරින් තම තමන්ගේ මව් භාෂාව සම්පූර්ණයෙන්ම ඉගැන්වීම සිදුකළ යුතුයි.

ඒ අනුව අප අපගේ විද්‍යුත් සාහිත්‍ය යුගය (E-සාහිත්‍ය) ඇරඹීමෙන්. වඩාත් යහපත් අනාගතයක සුභ ළකුණු දකින. දෙස බස රකින් තාක්ෂණයෙන් පිරිපුන් නිර්මාණශීලි අනාගත පරපුරක් බිහිකිරීමට හැකිවනු ඇත.