Categories
අධ්‍යාපනික

අධ්‍යාපනේ – එළ!

කාලයත් සමඟ අපද මහත් බලාපොරොත්තු තබා කඩේ ගිය ඊනියා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ ටයි පටියෙන් ගෙල සිර වී මැරී ගියේ එක් ශිෂ්‍යාවක් නොවේ. අපද ශිෂ්‍යයින් වශයෙන්භෞතිකව හා  මානසිකව මිය යමින් සිටිමු. අවශ්‍යකරනු ලබන ප්‍රතිශක්තිය අධ්‍යාපනය තුළින් නොලැබෙන අවස්ථාවේ සිතන්නට ප්‍රතිශක්තිය නොලැබෙන රාමුගත අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළද… සිසුවෙක් වශයෙන් ප්‍රසිද්ධියේ ගෙල වැලලා මිය යාමට සිතුන වාර අනන්තය. නමුත් මියයාම ගැටලුවට විසඳුම නොවේ….

තවමත් පැරණි සම්ප්‍රදායේ කටපාඩම් අධ්‍යාපනික සංස්කෘතිය රාමුවෙන් මතවාදී ලෙසින් ඉවත්වෙමින් කටයුතු කිරීමට ඇති හැකියාව ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයකට පමණි. සත්‍යවශයෙන්ම එක්තරා පන්තියකට පමණි. නිසිපරිදි පුස්තකාල අධ්‍යයනකින් ‍තොරව අධ්‍යාපනය වඩාත් හරවත් ආකාරයෙන් ලබාගැනීමට නොහැකියාවකට මුහුනදෙමින් අපි සිටිමු. විශේෂයෙන්ම උසස් පෙළ සිසුවා නිදහස් විය යුතුය. මහ හඬින් අප මෙය පැවසුවාට අපිට ලැබෙන, අප ලැබූ මෙතෙකැයි යැයි නිදහසක් නම් නොවේ…

අධ්‍යාපනය රසවත් විය යුතුය. නිරායාසයෙන් අධ්‍යාපනික මානසිකත්වයක් හා අධ්‍යාපනික සංවාද නිර්මාණය වන්නේ රසවත් වූ අධ්‍යාපනයක් තුළිනි. පවතින ක්‍රමය අනුව කටපාඩම්ගත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අපි තවදුරටත් එම ශිෂ්ටාචාරයට අනුගත වීමෙන් පමණි පවතින අධ්‍යාපන රාමුවෙන් වෙන්විය හැක්කේ, නමුත්… එම රාමුවෙන් මිදුන කල්හීද පෙර රාමුවටත් වඩා බැරෑරුම් තුච්ඡ-අධම-නිහීන රාමුවකට අප කොටුවන්නේ නිරායාසයෙනි. එහෙයින් පාසල් සිසුවෙක් වශයෙන් මා තුළ විශාල බියක් නිර්මාණය වන්නේ එනිසාවෙනි.

පසුගිය වසරේ මුහුනදුන් සාමාන්‍ය පෙළ ගණිත අර්බුදයද, ඉන් අනතුරුව උසස්‍ පෙළ විෂයන් තෝරාගැනීමේදී මා මුහුන දුන් ගැටලුවද මා වෙත සිහිගන්වන්නේ ඉතාමත් බැරෑරුම් අනාගතය පෙර සලකුණකි. පසුදින එහෙන්-මෙහෙන් ඇසෙන්නට වූ ප්‍රශ්න පත්‍ර අර්බුදය මුවට සියුම් සිනහවක් නැගූවත්, එයින්ම පෙන්වන්නේ බියකරු අනාගතයක පෙර සලකුණක් නොවේද?

සිසුවියගේ මරණයට වැරදිකරුවා මරණයේ හිමිකාරිය වූ එම ශිෂ්‍යාවියද, ඇගේ පෙම්වතාද, ජංගම දුරකථනයද, ශිෂ්‍ය නායිකාවන්ද, ගුරුවරයින්ද, විදුහල්පතිතුමියද, ටයි පටියද, වැසිකිලියද නොව… පවතින ක්‍රමයයි. පවතින අධම, අක්‍රමවත්, නිහීන අධ්‍යාපන ක්‍රමයයි… ඉතින් ක්‍රමයට බැන බැන අපටද ක්‍රමයට අනුගත වීමට සිදුවීම දෛවයේ (සීරියස්) සරදමකි. ඉතින් අපට මරණයෙන් පසු නිවන් සුව ලැබෙවා! අධ්‍යාපනයට ජය වේවා!


අධ්‍යාපන ක්‍රමය වඩාත් රසවත්, වඩාත් නිර්මාණශීලී හා සිසුන් වඩ වඩාත් දැනුවත් කෙරෙන ක්‍රමයක් වූයේ නම් අපට තව ටික කාලයක් හෝ ජීවත් වීමට වරම් ලැබෙනු ඇත. සහෝදර සිසු සිසුවියනි, ජීවත්වෙන්නට අවශ්‍යනම්, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ තම තමන්ගේ ක්‍රමයන් නිර්මාණය කරගනිමින් නිදහස්ව අධ්‍යයනයේ යෙදී, පවතින ක්‍රමයේ අධ්‍යාපන විභාග කඩඉම් සමත්වී ක්‍රමය අතික්‍රමණය කරනු මැනවි.