Categories
Uncategorized

මැතිවරණ කතා

ජීවිතේ කුණාට සමය පහු කරගෙන ටිකෙන් ටි‍ක ඉදිරියට ඇදෙන මේ වයසෙදි මට නං ලංකාවෙ සිස්ටම් එක ගැන තියෙන්නෙ පුදුම අප්සට් එකක්. සිස්ටම් එකට අදාල නොවන‍ කෙනෙක් සිස්ටම් එකේ බලෙන් හිරකරල තියෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරපු අති බහුතරයකගේ තත්වයත් එහෙම වෙන්න ඕනෙ.

වෙනද ඡන්ද ප්‍රතිඵල බලන්න රෑ නිදිවරාගෙන ඇස් ඇරගෙන ඉන්න මම, මේ පාර ඡන්දෙදි රූපවාහිනිය ඉස්සරටවත් නොගිය එක මට මම ගැනම ප්‍රශ්නාර්ථයක් මතුකරපු දෙයක්. මොනව වුනත් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය හිමිකරගත් මේ දේශපාලනික ජයග්‍රහණය අනෙකුත් පක්ෂ වලට සාපේක්ෂව අති විශිෂ්ට ජයග්‍රහණයක්. දේශපාලන කටයුතු වි‍ශ්ලේෂණය හරියට සිදුනොවුනොත් වෙන්නෙ ලොකු අඩුපාඩුවක්. මේ මැතිවරණය “සාධාරණ හා නිදහස් මැතිවරණයක්” වුනා නම්, මේකෙන් පේන්නෙ ශ්‍රී ලංකාවෙ බහුතර ජනතාව පවතින ක්‍රමයට විරුද්ධ බවත්. ආණ්ඩුවට ඡන්දය දුන් අය පැවති ආණ්ඩුවට ඡන්දය ලබාදෙන්නේ යුධ ජයග්‍රහණයත්, පාරවල් කාර්පට් වීම නිසා සහ ගුවන් පාලම් ඉදිවන නිසා බවත්, ගුවන් තොටුපලවල් හා වරායවල් ඉදි‍වීමේ අපේක්ෂාවෙනුත්, රටේ “භෞතික” දියුණුව පිළිබඳ පැහැදීමෙනුත් බවයි පේන්න තියෙන්නෙ.

කිසිම පක්ෂයකට ඡන්ද නොදුන් අති බහුතරයෙන් පේන්නේ ‍තමන් මේ ර‍ටේ ආණ්ඩුව කෙරෙන විදිහට ඇති විරුද්ධත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස තමන්ගෙන් ගිලිහෙන බව තමන්ට දැනෙන නිසා බවත් කියන්න පුලුවනි. විශේෂත්වය, තමන් විරුද්ධ පක්ෂ එකක්වත් විශ්වාස නොකරන බව පෙන්වීම.

ජනාධිපති ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානය මේ නිතරගයෙන් ලබාගත් ජයග්‍රහණය රටේ දියුණුවටත්, පශ්චාත් යුධ වාතාවරණය යටතේ අස්ථානගත වුන ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස නැවත ස්ථාපනය කිරීමට කටයුතු කරනවානං ඒක වැදගත්. ටිකෙන් ටික රජ‍යේ මාධ්‍ය ග්‍රහනය ලිහිල් කිරීමටත්, ආණ්ඩුව කොම්පැණියක් නොවී (රියල්) ආණ්ඩුවක් කිරීමටත්, කටයුතු කරනවානං වැදගත්.

පෙනෙන විදිහට එක්සත් ජාතික පක්ෂය (/පෙරමුණ) සහ තුන්වෙනි පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ (aka: ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය) තමන්ගෙ දේශපාලනික ගමන්මග අර්බුදකාරී තත්වයකට රැගෙන ආ බවයි පේන‍්නේ. ‍මොනදේ වුනත්, ශක්තිමත් විපක්ෂයක් ‍නොතිබීමේ අවාසිය ජනතාවටයි!

දැන් ඉතින් අපට බලාපොරොත්තු විතරයි. මේ වගේ තත්වයක් තුළ ජනතාව තවත් ආත්මාර්ථකාමී වීම අහඹු තත්වයක් නොවේ.

අතුරු කතා: මෙවර මහ මැතිවරණයෙන් පාර්ලි‍මේන්තුවට තේරී පත්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාට සුබ පතන්නට මෙය අවස්ථාව කරගන්නවා. ඒ බ්ලොග් රචකයෙක් පාර්ලිමේන්තුවට පත්වීම නිසාවෙන්!