Categories
පොත්

චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

chinamn

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි හිටියේ.

ඔය අතරෙ තමයි අහන්න ලැබුනෙ පොත සිංහලට පරිවර්තනය වෙලා කියල. පොත පරිවර්තනය කරන්නේ මම කැමතිම සිංහල සිංදුවක පද රචක. කැමතිම සිංදුව තමයි “ඇරඹුමම කඳුලක් වෙලා“. පද රචක තමයි දිලීප අබේසේකර. මේ සටහන පොත පිළිබඳ විචාරයක් නෙවෙයි. හැඳින්වීමක් වගේ එකක්. පොත ගැන දැනටමත් බොහෝ ලිපි අන්තර්ජාලයේ ඇති නිසා මම මුහුන දෙන පළවෙනි ගැටලුව තමයි පොත ගැන මට අලුතෙන් මොනවද ලියන්න තියෙන්නේ කියන එක.

මුලින්ම කියන්න ඕනෙ පොතේ අකුරු පොඩියි. ඒක සමහර වෙලාවට රසවත් කියවීමකට ලොකු බාධාවක් කියලත් හිතෙනවා. ඒක නිසා වෙන්න ඇති මට තවමත් පොත කියවලා ඉවරයක් කරන්න බැරි වුනෙත්. 😛 අකුරු පොඩි වුනත් කතාව නම් රසවත් කියල තේරුනේ කතාවෙ මුල් අර්ධය කියෙව්වාම. ඒත් මුලින් රහට දැනෙන, ඒත් පොතේ මැද හරියක් වෙද්දි මෙලෝ රහක් නැති වෙන සිංහල පොත් කියවලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මේක කොහොමවෙයිද කියලා කියන්න බෑ දැන්ම.

ඒත් එක අතකට පොත අරන් තියෙන සම්මාන ගොඩ බැලුවමනම් එහෙම අපේක්ෂා භංගත්වයට පත්වෙන්න ලැබෙයි කියලා හිතන්නත් බෑ තමයි. ලංකාවෙ ඉංග්‍රීසි පොතකට ලැබෙන ලොකුම සම්මානෙ, ඒ කියන්නෙ ග්‍රේෂන් සම්මානය ලැබෙන්න නම් එක්කො ඒ වෙනකොට සම්මානෙ දෙන්න වෙන පොතක් තිබිල නෑ. එහෙම නැතිනම් මේක තමයි සිරාම පොත. ඒත් කියවපු ටිකේ දැනුන රහ අනුව නම් මම වුනත් ඒ සම්මාන මණ්ඩලේ හිටියනම් ඉතිරි ටික නොකියවාම සම්මානෙට නිර්දේශ කරන්න තිබුනා.

ඔරිජිනල් පොතේ හිමිකාරයා ෂෙහාන් කරුණාතිලකනම් මට අලුත්. ඒ වගේම ඔනෙම පරිවර්තනයකදී ලිඛිත භාෂාවට එහා දේවලුත් පරිවර්තනය වෙනවා. පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත් ඉංග්‍රීසියෙන් සිංහලට කතාව පරිවර්තනය වෙද්දි, මේක පරිවර්තනයක් ය කියල හිතාගන්නවත් බැරිතරම් පරිවර්තනය නැවුම්. එහෙනම් ඉතින් ඒකෙ ගෞරවය දිලීප අබේසේකරට දෙන්න ඕනෙ.

පොත තවම කියවලා ඉවර නෑ. මොකද කියන්නෙ? ඉතිරි ටිකත් කියවන්නද? එපාද? 😛

පසු ලිවීම:
පොත අරගන්න හිතනවානම් ටකස් එකෙන් ගෙදරට ගෙන්නගන්නත් පුලුවනි. 😉

…..

ගිහින් එන්නම්. සෙස්ස පස්සට. 🙂

Categories
කාලීන

යුධ ජයග්‍රහණයක් සහ විවාහ සංවත්සරයක්.

මගේ අම්ම සිංහල, තාත්ත දෙමළ. ඒ දෙන්නගෙ ජීවන යුද්ධයට අවුරුදු 25ක් පිරෙන්නෙ හෙට අනිද්දා.

අපේ තාත්ත දෙමළ නිසා අම්ම තාත්තව බඳින්න තීරණය කරාම අම්මගෙ පවුලෙන් යුද්ධ ප්‍රකාශ කරා. අම්මයි තාත්තයි හොඳ වෙලාවට රජයෙ සේවකයො නිසා ඒ කාලෙ හැටියට ගෙදරින් ස්වාධීන වෙලා ජීවත් වෙන්න තරම් සල්ලි තිබුනා.

ඔහොම මොණරාගල රාජකාරි කරන අතරෙ එහේ සිංහල මිනිස්සු තාත්තව මරන්න හොයල තිබුනා, ඒ රට බෙදන යුද්ධෙ නැගල යන කාලෙ. එතකොට තාත්තව හංගගෙන බේරගෙන තිබුනේ තාත්තා වැඩ කරපු තැන හිටපු මහත්තයෙක්. එයා සිංහල.

එතකොට නම් තාත්තව මරන්න හොයල තිබුනෙ තාත්තා කොටියෙක් නිසා නෙවෙයි. නිකම්ම නිකන් දෙමළ නිසා.

මම ඉපදුනාට පස්සෙ තමයි ඊළඟ යුද්ධෙ. දෙන්නටම හිතාගන්න බැරිවුනා මම දෙමළ දරුවෙක්ද, සිංහල දරුවෙක්ද කියලා. (මටත් තාම හිතාගන්න බෑ) එතකොට දකුණු පළාතෙත් අන්ත දකුණෙම ජීවත් වුන නිසා මිනිස්සු මා දිහා අමුතු විදිහට නොබලයි කියන බලාපොරොත්තුවෙන් මට සිංහල නමක් තිබ්බා.

තාත්තගේ පවුලෙ නම හරිම ලස්සනයි, ගාම්භීරයි. ඒත් ඒ නම දෙමළ නිසා මගේ පවුලෙ නමත් කොට කරලා කාලිදාස වෛනා කන්දනාදන් වෙනුවට “කාලිදාසගේ” කියල දෙමළ නමත් සිංහල කරල තමයි මට තිව්වෙ.

චන්ද්‍රිකා මැඩම් බලයට පත්වුනාම සිවිල් යුද්ධෙ මුහුනුවර වෙනස් වුනා. යුද්ධෙ කරන්නෙ කොටින්ට විරුද්ධව මිසක් දෙමළ මිනිස්සුන්ට එරෙහිව නෙවෙයි කියල මාකට් කරන්න පටන්ගත්තට පස්සෙ දකුණෙ හිටපු සිංහල දෙමළ මිනිස්සු අතර සමඟිකම් ඇතිවෙන්න ගත්තා. අපේ අම්මගෙ පවුලට තාත්තගෙනුත් පොඩි පොඩි උදව් වුන නිසා පරණ විරසකත් අඩු වුනා. අපි ජීවත් වුන තිස්සමහාරාම පැත්තෙ සිංහල මිනිස්සුන්ගෙනුත් තාත්තට කිසි වරදක් වුනේ නෑ, සෑහෙන්න මිතුරු සබඳකම් ඇතිවුනා මිසක්.

අපේ ලොකු අම්මගෙ ලොකුම පුතා තමයි අපේ පවුලෙ හිටපු හොඳම ගතිගුණ තිබුන මනුස්සය. උසස් පෙළත් පාස් වුනාට කැම්පස් යන්න තරම් ලකුණු තිබුනෙ නෑ. අන්තිමට එයා බැඳුන නාවික හමුදාවට. නාවික හමුදාවෙ ඉංජිනේරු අංශයට බැඳුනම අපි හිතුවෙ එයාට වැඩිපුර යුද්ධ කරන්න ලැබෙන්නෙ නැතිවෙයි කියල. ඒත් දවසක් නිවාඩු අරගෙන එද්දි නිරායුධ නාවික හමුදා සෙබලුන්ව ඉලක්ක කරපු ක්ලේමෝ බෝම්බයකට අහුවෙලා එයා නැතිවුනා. එදා මගේ සිංහල අම්ම වගේම දෙමළ තාත්තත්, ලොකු අම්මගෙ ගෙවල් ළඟ හිටපු මුස්ලිම් අයත් බොහොම දුක්වුනා.

තාත්ත ඡන්දෙ දුන්නෙ ජේවීපී එකට. සාම ගිවිසුම ගහපු එජාප ආණ්ඩුව පෙරළන්න ජවිපෙ මහින්ද එක්ක සන්ධානගතවුනාම, තාත්ත ඡන්දෙ දුන්නෙ මහින්දට. ඊටපස්සෙ මහින්ද මහත්තයගෙ නායකත්වය යටතේ හමුදාව යුද්ධෙ දිනුවම මගේ දෙමළ තාත්ත වගේම සිංහල අම්මත්, අපේ ගෙවල් ළඟ මුස්ලිම් අයත් සතුටුවුනා. ඒ, හැමෝටම බයක් සැකක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් නේද කියලා.

2009 මැයි 17 වෙනිදා ලැබුන යුධ ජයග්‍රහණයට අදට අවුරුදු හයක්. අද අපි වගේම සාමාන්‍ය පවුල් ත්‍රස්තවාදයට බය නෑ. නිදහසේ ඉන්නවා. මගේ තාත්ත දෙමළ කියල ලියන්න බයත් නෑ. ත්‍රස්තවාදය පරද්දන්න සටන් කරල මිය ගියපු හමුදාව හැමදාම අපේ මතකෙ තියෙයි.

ඉතින් මේ පුංචි ශ්‍රී ලංකා පවුල බෙදන්න හදන ජාතිවාදී සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගෙන්, ගස් කපල කැලෑ වනසන මුස්ලිම් නායකයින්ගෙන්, සල්ලි බෙදල ආගම මාරු කරවන ක්‍රිස්ත්‍රියානි නායකයින්ගෙන් බේරාගන්න එක අපි හැමෝගෙම වගකීම.