Categories
ජීවිතේ

2023 මොකද වුනේ?

2024ත් වුනා. දැන්නං වයසට ගිහින් කියලමයි හිතෙන්නේ. වයසට යනකොට, වෙනත් වයසට ගියපු අයගෙ ට්‍රැක දැකල බලවෙලා ඉන්නෙ මටත් එහෙම වෙයි කියලා. අන්තිමට ලියපු දවස බැලුව​ම 2023ට මුකුත් ලියලත් නෑ. ඒක ගැන දුකයි.

2023 අවුරුද්දෙ මුල ඉඳලම කර කර හිටපු රස්සාවෙන් අයින් වෙන එක ගැන තමයි හිත හිත හිටියෙ. රස්සාවෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඇති වගේ කියල හිතුන නිසා සහ ඉක්මනට විශ්‍රාම යන්න පුලුවන්ද කියල අත්හදා බලන්න ඕනෙ වුන නිසා. ඒත් රුපියල එන්න එන්නම බාල්දු වෙන නිසා, විශ්‍රාම යන්න දැම්ම අමාරුයි. ඊට පස්සෙ වැඩක් ​නොකර ඉන්න කම්මැලිත් හිතුනා. ඉතින් මාස 4කට විතර පස්සෙ Supabase (සුපබේස්) සෙට් වුනා. මේක තමයි මං හිතන්නෙ මම අඳුරන අයගෙ Reference එකක් නැතුව සෙට් වුන පළවෙනි job එක. හැබැයි ඒකට Auth0 (ඕත් සීරෝ) එකේ Experience එක උදව් වුනා.

මං හිතාගෙන හිටියෙ 2023 වසර අම්මටසිරිවෙන්න කෙලවෙයි කියල. පැය 24ම කරන්ට් නැතිවෙයි කියල හිතාගෙන Power backup දෙකක්ම අරගත්තා. විදුලියෙන් දුවන කාර් එකකුත් අමාරුවෙන් අරගෙන හිටියෙ තෙල් නැතිවෙයි කියල. පුලුවන් උපරිමයෙන්ම 2022 දි ලෑස්ති වුනේ 2023දි එයි කියල හිතාගෙන හිටපු crisis එකට. හැබැයි රනිලුත් නන්දලාලුයි වැඩේ ගොඩදාගත්ත වගේ හිමීට.

ඒකෙන් කියන්නෙ නෑ දැං අපි ඉන්නෙ crisis එකක නෙවෙයි කියල. නන්දලාල්ම කිව්ව වගේ ආගාධෙට යන ගමන් තිබුන වාහනේ බ්‍රේක් එක ගහල අනිත් පැත්තට හරවගෙන ආයෙ උඩට යන ගමන් ​ඉන්නෙ. ඒ වුනාට බැලුවම පේනවා මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය එන්න එන්න අඩුවෙනවා, නොමිලේ ලැබෙ​න සෞඛ්‍ය පහසුකම් දුර්වල වේගෙන යනවා, නොමි​​ලේ අධ්‍යාපනය දුර්වල වේගෙන එනවා වගේ දශක ගණනාවක් ඉස්සරහට බලපාන ගැටලු වලට මුහුන දෙමිනුයි අපි ඉන්නෙ.

මේ අවුරුද්දෙ ලොකු ලොකු දේවල් කරන්න බලාපොරොත්තුවක් නෑ. මේව තමයි Goals.

  • ෆෝන් එකටයි, සමාජ මාධ්‍ය වලටයි තියෙන addiction එක අයින් කරගන්න එක
  • පොත් කියවන්නයි, ලියන්නයි පටන්ගන්න එක
  • PostgreSQL ඉගෙනගන්න එක

මං 2024 අවුරුද්දෙ කරපු පළවෙනි වැඩේ තමයි රහස් කියන කඳු චිත්‍රපටිය බලපු එක. හැබැයි මං ඒක 2023 අවුරුද්දට දාන්න තමයි ආස. ඒ චිත්‍රපටිය ගැන ඊළඟට ලියන්න හිතාගෙන ඉන්නවා.

ඔයාලට 2023දි මොනවද වුනේ? මගෙන් මොනවගේ දේවල්ද දැනගන්න කැමති කියල කියන්නත් අමතක කරන්න එපා!

Categories
ජීවිතේ

ඔහේ ගලාගෙන යන ජීවිතය.

ජීවිතය කම්මැලිම කම්මැලි වෙලා දැන් හුඟක් දවස්. තේරුමක් නැති මාවත් ඔස්සේ තේරුමක් නැතිව ඇවිදිනකොට මුලින් පුදුම නිදහසක් දැනුනත් දැන් ඒකත් එපා වෙලා. හිතේ ගොඩක් දේවල් තිබුනත් ක්‍රියාවට නගන්න බැරි තරම් ඇඟ පත තෙහෙට්ටු කරන්න මේ තේරුමක් නැති ඇවිදිල්ල හේතු වෙන්න ඇති.

ඒත් මම ජීවතුන් අතර.

ජීවතුන් අතර අජීවීව සිටීමම තරම් නාස්තියක් වෙන කොහේද? උදේට හිරු නැගලත් පැය ගාණකට පස්සෙ නැගිටින මේ ජීවිතේ මීට වඩා වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන් පූජා කරන්න පුලුවන්නම් කොච්චර වටිනවාද? මීට අවුරුදු ගාණකට කලින් මගේ ලේ සහෝදරයෙක් යුද්ධයෙන් මා ආරක්ෂා කරන්නට මිය ගියේ මෙහෙම ජීවිතය නාස්ති කරන්නද?

පෙරදින රෑ සුරඟනක් සිහිනයෙන් පැමිණ අනාගතය පෙන්වා ගමන් කරන්නයි පැවසුවා. ඇයත්, ඒ මොහොතට පෙර ගතවූ සෑම තත්පරයක වූ සතුට-දුක මිශ්‍ර අතීතය අමතක කර කාලයේ ගමන් කරන්නැයිද, තම ජීවිතයට වටිනාකමක් දෙනු නොහැකිනම් අනෙකෙකුට වටිනාකමක් ලබාදෙන්නට වෙහෙසන්නයි පවසමින් ඈ නිහඬ වුනා.

නමුත් සිදුවූයේ අතීතයට එක් වූ සුරඟනද ආවර්ජනය කරමින් මා තවම නතර වී සිටීමයි.

ඉතින් මා තවදුරටත් නතර වී නොසිට යා යුතු නොවෙද අරුතක් සොයමින් අලුත්?

තෙවන ලොවක ඉපදීමට තරම් අන් වාසනාවක් නැතැයි මම සිතමි. මෙහි වෙනස් කිරීමට තරම්, ඉගෙනීමට තරම් කිසිවක් ලොව අන් තැනක නැතැයි සිතමි. මා පමණක් නොව අන් බොහෝ දෙනා නොයෙක් මාවත් තුළ ඔහේ ඇවිදියි… නිවැරදි පාර සොයා ඔවුන්ට පවසනු පිණිස මා සාදා ගත යුතු ය පියාපත්.

ඉතින් මේ මා පියාපත් සදනු එළඹෙන පළමු දිනයයි.