Categories
ජීවිතේ

ඔහේ ගලාගෙන යන ජීවිතය.

ජීවිතය කම්මැලිම කම්මැලි වෙලා දැන් හුඟක් දවස්. තේරුමක් නැති මාවත් ඔස්සේ තේරුමක් නැතිව ඇවිදිනකොට මුලින් පුදුම නිදහසක් දැනුනත් දැන් ඒකත් එපා වෙලා. හිතේ ගොඩක් දේවල් තිබුනත් ක්‍රියාවට නගන්න බැරි තරම් ඇඟ පත තෙහෙට්ටු කරන්න මේ තේරුමක් නැති ඇවිදිල්ල හේතු වෙන්න ඇති.

ඒත් මම ජීවතුන් අතර.

ජීවතුන් අතර අජීවීව සිටීමම තරම් නාස්තියක් වෙන කොහේද? උදේට හිරු නැගලත් පැය ගාණකට පස්සෙ නැගිටින මේ ජීවිතේ මීට වඩා වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන් පූජා කරන්න පුලුවන්නම් කොච්චර වටිනවාද? මීට අවුරුදු ගාණකට කලින් මගේ ලේ සහෝදරයෙක් යුද්ධයෙන් මා ආරක්ෂා කරන්නට මිය ගියේ මෙහෙම ජීවිතය නාස්ති කරන්නද?

පෙරදින රෑ සුරඟනක් සිහිනයෙන් පැමිණ අනාගතය පෙන්වා ගමන් කරන්නයි පැවසුවා. ඇයත්, ඒ මොහොතට පෙර ගතවූ සෑම තත්පරයක වූ සතුට-දුක මිශ්‍ර අතීතය අමතක කර කාලයේ ගමන් කරන්නැයිද, තම ජීවිතයට වටිනාකමක් දෙනු නොහැකිනම් අනෙකෙකුට වටිනාකමක් ලබාදෙන්නට වෙහෙසන්නයි පවසමින් ඈ නිහඬ වුනා.

නමුත් සිදුවූයේ අතීතයට එක් වූ සුරඟනද ආවර්ජනය කරමින් මා තවම නතර වී සිටීමයි.

ඉතින් මා තවදුරටත් නතර වී නොසිට යා යුතු නොවෙද අරුතක් සොයමින් අලුත්?

තෙවන ලොවක ඉපදීමට තරම් අන් වාසනාවක් නැතැයි මම සිතමි. මෙහි වෙනස් කිරීමට තරම්, ඉගෙනීමට තරම් කිසිවක් ලොව අන් තැනක නැතැයි සිතමි. මා පමණක් නොව අන් බොහෝ දෙනා නොයෙක් මාවත් තුළ ඔහේ ඇවිදියි… නිවැරදි පාර සොයා ඔවුන්ට පවසනු පිණිස මා සාදා ගත යුතු ය පියාපත්.

ඉතින් මේ මා පියාපත් සදනු එළඹෙන පළමු දිනයයි.

Categories
වේදිකා නාට්‍ය

සිරිවර්ධන පවුල [SPOILER FREE]

Siriwardana Family

සිරිවර්ධන කියල මගේ පොඩි කාලෙ යාලුවෙක් හිටිය. මේ එයා ගැන හෝ එයාගේ පවුල ගැන නම් නොවෙයි. වේදිකා නාට්‍යයක් ගැන. ෆේස්බුක් ආරාධනාවකින් දැනගත් “සිරිවර්ධන පවුල” වේදිකා නාට්‍යය රාජිත දිසානායකගේ නිශ්පාදනයක්. වේදිකා නාට්‍යය බලන්න යන්නට සෑහෙන්න උවමනාවක් තිබුනත්, තනියම බලන්න යන්න වෙන නිසාත්, වේලාව පිළිබඳ ප්‍රශ්නය නිසාත් අන්තිම මොහොත දක්වා හිත කරේ අදිමදි කරන එක. සෑහෙන්න ඕනෑකමකින් පසුගිය සතියේ බලන්න ගියපු “පෙම් යුවලක් ඕනෑ කර තිබේ” වේදිකා නාට්‍යයෙන් ලැබුනු තරමක් අප්‍රසන්න අත්දැකීම නිසාත් හිත එහෙම හිතන්නට ඇති.

අන්තිමේ වේදිකා නාට්‍ය බලන්න යාලුවෙකුත් එකඟ වුනාම තමයි ලයනල් වෙන්ඩ්ට් එකට වේදිකා නාට්‍යය පටන්ගන්න ඔන්න මෙන්න තියල ළඟා වුනේ. බාටා දෙක දාලා ඩෙනිම ගහල වෙන්ඩ්ට් එකට ඇවිදිනකොට ඒ ළඟ පේලියට නවත්තලා තිබුන වාහන දැක්කමනං හිතුනේ ශ්‍රී ලංකා වේදිකා නාට්‍ය ක‍්ෂේත්‍රයේ ආශ්චර්යය දැන්ම උදාවෙලා කියලයි.

වෙන්ඩ්ට් එකේ කට කපල සෙනඟ. කොහොමහරි අපිටත් 600 ටිකට් දෙකක් අරගන්න ලැබුනා. අයියෝ සල්ලි කියන්න බලාගෙන ඉඳගත්තත්, රාජිත දිසානායකගෙ අධ්‍යක්ෂණය ගැන විශ්වාසයක් නොතිබුනා නෙවෙයි. ඔහු ඒ විශ්වාසය රැකල තිබුනා කියල කියන්නේ බොහොම සතුටෙන්.

ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ ඇරුණාම අනිකුත් චරිත රඟපෑ නළු නිළියන් මගේ ඇසට තරමක් අලුත්. ඒ අතර ඉස්කෝලෙ කාලෙ ඉඳලා මතක පසන් රණවීරත් මතක් කරන්නට ඕනෑ. මට චරිත නම් මතක තබාගැනීමට තරමක් අපහසුයි. ඒත් මේ වේදිකා නාට්‍යයේ හොඳම රඟපෑම හිමිවෙන්න ඕනෑ රූපවාහිනී නාලිකා ප්‍රධානියාට. රාජිත දිසානායකගේ බකමූණා වීදි බසියි වේදිකා නාට්‍යයට වඩා මේ වේදිකා නාට්‍යය සෑහෙන්න ඉදිරියෙන්. ඔහුගේ “ආදර වස්තුව” මට බලන්න වුනේ නෑ.

වේදිකා නාට්‍ය කතාව ගෙතෙන්නේ “සිරිවර්ධන පවුල” වටා. ඒ‍්, එක්තරා රියැලිටි ටීවී තරගයක් සඳහා සහභාගිවන තරඟකරුවෙක්ගේ පවුලක්. බලෙන් නිර්මාණය කරනු ලබනා රියැලිටි මායාවට හසුවන ඒ පවුලේත්, ඔබේත්, මගේත් කතාවයි මේ. වේදිකා නාට්‍යය අදත් (ජනවාරි 24වෙනිදා) රෑ 7ට ලයනල් වෙන්ඩ්ට් හිඳී වේදිකා ගතවීමට නියමිතයි.

මීට අමතරව, ලබන 26 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් හිදී චාමික හත්ලහවත්තගේ “මක රට” වේදිකා නාට්‍යයත් වේදිකා ගතවීමට නියමිතයි. 2014 වසරේ රාජ්‍ය සම්මාන නවයක් දිනාගත් මේ වේදිකා නාට්‍යයත් ඔබ මඟ නොහැර නැරඹිය යුතු වේදිකා නාට්‍යයක්.

සටහන සඳහා ඡායාරූප උපුටාගැනීම අද පුවත්පතේ මෙම නාට්‍ය පිළිබඳවම ලියැවුනු ලිපියකින්.