Categories
ජන මාධ්‍ය

අන්තර්ජාලය(ට) අලුතෙන් ලියමුද?

පසුගිය අවුරුදු කිහිපය තුළ සිංහල බ්ලොග් අවකාශය ප්‍රමාණාත්මක වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒත් ගුණාත්මක වර්ධනයක් ලබාගෙන ඇත්ද විමසීමයි නියම ප්‍රශ්නය. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බ්ලොග් කියවනය අනුව එහි අන්තර්ගතවන්නේ බ්ලොග් අඩවි 591ක් පමණයි. එහි තේරුම පසුගිය මාස 3 ඇතුළත් නිසි පරිදි යාවත්කාලීන වී ඇත්තේ මේ බ්ලොග් අඩවි පමණක් ද? එහෙම නැතිනම් යාවත්කාලීන වන අනෙකුත් බ්ලොග් අඩවි හසුකරගැනීමට තරම් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ක්‍රියාත්මක වී නැති ද? කෙසේනමුත් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ සඳහන් හැටියට බ්ලොග් අඩවි ප්‍රමාණය 2548ක්.

සිංහල බ්ලොග් අඩවි පිළිබඳ පෙළඹවීමක් ඇති කිරීමට සමත් වූ ඉසව්වක් වූයේ පළමු සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව. ඉන් අනතුරුව පැවැත්වූ බ්ලොග් සම්බන්ධ ඉසව් හරහා බ්ලොග් වෙත ගුණාත්මක බලපෑමක් කරන්න හැකිවූවාදැයි සැකයි. බ්ලොග් ලියනවාට වඩා බොහෝ දෙනා කරේ අඥ්‍යාත හෝ අන්වර්ථ නාම වලින් පෙනී සිටි දෙනා හඹායෑම. මේ නිසා බොහෝ ආකර්ශනීය අන්තර්ගතයන්ගෙන් යුතු බ්ලොග් අඩවි බිඳ වැටුනා. අවසානයේ ඉතිරිවූයේ අන්වර්ථනාම පිටුපස සිටිමින් එකිනෙකාගේ පුද්ගලික හෝ ලිංගික ජීවිතය විවරණය කරන බ්ලොග්.

වඩා වැදගත්වන්නේ කුමක්ද?
බ්ලොග් අඩවියක භාෂාව පිළිබඳව නීති පැනවීමේ කිසිදු අයිතියක් බාහිර පාඨකයන් සතුව නැහැ. නමුත් වියරණ කෙසේවෙතත් ලියන දෑ සරලව කෙටියෙන් පවසනවානම් තමයි වඩා හොඳ. අන්තර්ජාලයේ පිටු අතර සාමාන්‍ය පරිශීලකයෙක් මාරු වන වේගය සලකා බලන විට බොහෝ වේලා එක් පිටුවක රැඳී සිටිමට කිසිවකු කැමැත්තක් දක්වන්නේ නැහැ.

එමෙන්ම තම සත්‍ය නමින් බ්ලොග් නොලියනා කිසිවෙක් වේද, ඔවුන්ටද සමව සැලකිය යුතුයි. වඩා වැදගත්වන්නේ පුද්ගලයා නොව සංකල්පය යි. [SPOILER ALERT] James McTeigue විසින් අධ්‍යක්ෂණය කෙරුනු V for Vendetta චිත්‍රපටියේ මෙසේ සඳහන්.

…We are told to remember the idea, not the man, because a man can fail. He can be caught, he can be killed and forgotten, but 400 years later, an idea can still change the world. I’ve witnessed first hand the power of ideas, I’ve seen people kill in the name of them, and die defending them… but you cannot kiss an idea, cannot touch it, or hold it… ideas do not bleed, they do not feel pain, they do not love… And it is not an idea that I miss…

…Beneath this mask there is more than flesh. Beneath this mask there is an idea, Mr. Creedy, and ideas are bulletproof. …

මෙහි සරල අදහස නම් අදහස් මරණයට පත්කළ නොහැකි බව යි. වඩා වැදගත්වන්නේ පුද්ගලයා නොවෙයි. අදහස්. එමෙන්ම තමාගේ බ්ලොග් අඩවිය අදහස්වලට විවෘත විය යුතු යි. මේ අදහස් විවෘත මනසකින් කියැවීමට තරම් පුද්ගල ප්‍රතිරූපයක් ලියන්නෙක් සතු විය යුතු යි.

ඊළඟ කාරණය, ලිවීමට නම් කියවිය යුතු යි. කියවිය යුත්තේ බ්ලොග් පමණක් නොවෙයි. ඕනෑම දෙයක්. වඩා හොඳින් කියවන්නෙකුට වඩා හොඳින් ලිවිය හැකියි. යමක් සාරාංශ ලෙස හෝ පැහැදිලි කරමින් පාඨකයා සිත් ඇදගන්නා ලෙස ලිවීමට පුරුද්දක් එයින් ලැබෙනවා ඇති.

බ්ලොග් අඩවි තුළ සිංහල භාෂා භාවිතය සම්බන්ධයෙන් කියවිය යුතුම (හෝ ආශ්‍රය කළ යුතු?) බ්ලොග් අඩවි කිහිපයක් කියන්නම්. ඒවා නම් ආනන්දවර්ධනගේ ලිපි සහ නාමල් උඩලමත්තගේ ලිපි. මීට අමතරව භාෂා භාවිතය පිළිබඳ කියවිය යුතු බ්ලොග් තිබේනම් ප්‍රතිචාර වල දැක්වීමයි වඩා හොඳ. 🙂 අන්තර්ජාලයේ පළ වී ඇති සමර විජේසිංහගේ කෙටිකතා හරිම ලස්සනයි.

කකුළුවා අනෙක් අයට කෙලින් යන්න කියාපානවා වගේ මගේ සටහනත් තරමක් දිග යි. ඇත්තටම උවමනාව තිබුනේ අලුත් සිංහල බ්ලොග් මැරතන් එකකට කතාවක් ඇතිකරන්න. ඉතින් අලුත් සිංහල බ්ලොග් මැරතන් එකකට කාලය හරියාගෙන එනවා නේද?

11 replies on “අන්තර්ජාලය(ට) අලුතෙන් ලියමුද?”

පරණ සුදාරකයා ආයෙ ඇවිත්ද මන්දා 😀 . මට සහයෝගය දෙන්න පුලුවන් ටෙක්නිකල් සයිඩ් එකෙන් වගේ .

පහන කියලා තමා මමත් ආවේ මේක අහන්න.., දෙන්න පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්.., වැඩේ කරමු..!

ලියන්නන් සංඛ්‍යාව වැඩිවීමේ වේගයේ අඩුවකට වඩා පාඨක පිරිසේ සංඛ්‍යාත්මක වැඩිවීම අඩු බවයි අද තියෙන ප්‍රශ්නය.

ගොසිප් වෙබ් අඩවිවලට එන පිරිස් බ්ලොග් කියවන්න එන්නේ නෑ. ලක්බිමේ බ්ලොග් ගැන ගිය ලිපි පෙල නිසා එදා 2010 දී ටික දෙනෙක් හෝ බ්ලොග් ලෝකය ගැන දැණගත්තා. එවැනි ප්‍රචාරකවැඩ පිළිවෙලක් ද අවශ්‍යයයි.

පරණ බ්ලොග් කාරයෙක් වුණු අජිත් පෙරේරා පාර්ලිමේන්තුවට ගියත් බ්ලොග් ගැණ වචනයක් හෝ කිව්වාද මන්දා? පොර ඇඟති කෙනෙක් වූණූ දවසට බ්ලොග් පිළිබඳ අමාත්‍යාශයක් පිහිටුවන්න කියමු!

මම ලියන්න පටන් ගනිද්දී සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් 1007 තිබුණා වගේ මතකයක් තියෙනවා. ඒ කියන්නේ පැරණි බ්ලොග් යාවත්කාලීන වීමේ අඩුවක් තියෙනවා. නමුත් අලුතෙන් බොහෝ බ්ලොග් එකතු වනවා. සිංහල බ්ලොග් කියවන අය බොහොම සීමාසහිතයි කියලා මටත් හිතෙනවා. පොදුවේ මේවා ජනප්‍රිය කරන්න යම් ක්‍රමවේදයක් අවශ්‍යයි. අපිට පුද්ගලිකවනම් ෆේස්බුක් හරහා අපේ බ්ලොග් ජනප්‍රිය කර ගන්න පුළුවන්. ඒත් ඒ මදි.

බ්ලොග් මැරතන් එකකින් ලැබිය හැකි යමක් ඇතැයි ම‍ගේ විශ්වාසයක් නෑ. එයින් සිදුවන්නේ “බ්ලොග්” යනුවෙන් ඇති සීමිත අවකාශය තුල වේගවත් චලනයන් රැසක් ඇතිවීම පමණයි. වඩාත් වැදගත් වන්නේ බ්ලොග් කියවන්නන් ප්‍රමාණය වැඩිකරගැනීමට උත්සාහ දැරීමයි.
උදාහරණයක් ලෙස කතන්දරකාරයා භාවිතා කරනවා යයි කියන විසිටින් කාඩ්පතට බ්ලොග් අඩවිය එක්කිරීම…. වැනි දෑ.

අතීත මතක අලුත් වුනා. මට වඩා වයසින් බොහොම බාල වුනත් හැමදාම ඔබේ අදහස් කියෙව්වම දැනෙන්නේ කොයි තරම් නම් වටින දරුවෙක් ද කියලා. බොහොම කාලෙකින් එක ළඟ පෝස්ට් දෙකක් ලියැවිලා. ඒ වගේම ලියවුනු අදහස් කාලෝචිතයි වගේම වටිනවා…..පැරණි බ්ලොග්කරුවන්ගෙන් අද ඉතිරි වෙලා ඉන්නේ සීමිත සංඛ්‍යාවක්.ඒ වගේම අද බ්ලොග් ලියැවෙන්නෙත් එකම මාතෘකාවක් ඔස්සේ.
කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න උන්නදු කරේ “අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කරන්න“ කියලා නේ. දැන් වගකීම තමයි ඒ වැඩි වීම ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මක පැත්තටත් යොමු කරන එක….

බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. කාලෙකින් ලියන්න බැරිවුනේ විභාග වැඩවල හිරවෙලා හිතේ නිදහසක් නොවුන නිසා. දැන්නම් ඉදිරියට ලියන්න පුලුවන් වාතාවරණයක් හැදෙමින් තියෙනවා. 🙂

@පහන් + @ලිෂාන්: බලමු. රාජ් සහ කතන්දරකාරයා කියල තියෙන කතාවෙත් ඇත්තක් තියෙනවා. එහෙනම් මේ ගැන තව ටිකක් හොයල බලලා හරියට වැඩක් කරමු. 🙂

ජය!

Leave a Reply to Sudam Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.