Categories
දේශපාලනික මතවාද සමාජ ගැටලු

මිනිස්සුන්ට තියෙන්නෙ අධ්‍යාපනය රැකගැනීමට වඩා මුදල් පිළිබඳ ප්‍රශ්නයක්.

මේ දිනවල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සහ දේශිය දළ ජාතික නිශ්පාදන වියදමෙන් සියයට හයක ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් දියත් කරන රැළි මාලාව හරිම ජනප්‍රියයි. කොහොම නමුත් ඔවුන් බොහෝ පිරිසකට ඒත්තු ගැන්වීමට සමත් වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය පවතින අවදානම් තත්වය.

නිදහස් අධ්‍යාපනය ගැන කොතරම් මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙනවාද කිව්වොත්, දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා. ඇත්තම කතාව ඒක නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ තමන්ගේ නිදහස් තෝරාගැනීමට යටත්ව රිසිසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම. එහෙම බැලුවොත් ලංකාවට නිදහස් අධ්‍යපනය අහිමි වෙලා තියෙන්නනෙ සෑහෙන්න අවුරුදු ගාණකට කලින්.

පවතින ක්‍රමය යටතේ බොහෝ කාලයකට ඉහතදී යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය බොහෝ ගැටලු රැසක් වර්තමානයේ ඉතිරි කර තිබෙනවා. වෛද්‍යවරු වේවා ඉංජිනේරුවරු වේවා ඔවුන්ද සැලකෙන්නෙ කම්කරු මට්ටමෙන්. ඔවුන්ට වඩා අධ්‍යාපන සුදුසුකමින් අඩු මට්ටමේ දේශපාලකයින් ඉතා ඉහළ පහසුකම් සහ වැටුප් ලබාගන්නවා (සරල උදාහරණයක්) මෙවැනි වැටුප් විෂමතාවක් සහ සමාජ තලවල සැලකිය යුතු විකෘතියක් ඇතිවෙලා තියෙන්නෙ මේ යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය නිසා. ඉතින් ක්‍රමය වෙනස් කිරීමටැයි සටන් වදින අය පවතින ක්‍රමයම පෝෂණය කරන අධ්‍යාපන ක්‍රමය රැකගැනීමට සටන් වදින්නේ ඇයි?

එහෙමනම් සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ක්‍රම ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සටන් වැදීම වඩාත් හොඳයි නේද?

විශ්ව විද්‍යාල කථිකාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීම අතිශයින්ම සාධාරණ ඉල්ලීමක්. මේ සටන ඇතුළෙ කුමන දේශපාලනයක් තිබුනත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ගේ වැටුපට සෑහෙන්න ඉහළ ප්‍රමිතියක් හිමිවිය යුතුයි. මේ කොහොමවුනත් සුලුතරයක් වෙන ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඪ වලින් හැර අනෙකුත් විශ්ව විද්‍යාල වලින් රටේ දියුණුවට අදාළව මොනවද වෙලා තියෙන්නෙ? විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන දවසෙ ඉඳල ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනවා ඇරෙන්න? ඒවත් සාර්ථක වුනානම් කමක් නෑ. මේ පාරවත් සාර්ථක වෙයිද?

මෙතන තියෙන්නෙ සරලව මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය අතිශයින් වැදගත්. නමුත් නිදහස් අධ්‍යාපනය පැවතුනු කාල සීමාවේදී මෙතරම් බණ කියන, සාක්ෂරතාවෙන් සංතෘප්ත වුන රටේ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය වෙනස් කරන්න අපට තවමත් බැරි වෙලා නේද?

සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් වදින්න. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න.

2 replies on “මිනිස්සුන්ට තියෙන්නෙ අධ්‍යාපනය රැකගැනීමට වඩා මුදල් පිළිබඳ ප්‍රශ්නයක්.”

සුදාරක, පුංචි අදහස් කිහිපයක් කියන්න තියේ,

/සියයට හයක ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් දියත් කරන රැළි මාලාව හරිම ජනප්‍රියයි./

මේක ඇත්තම නෙමෙයි නේද? ඇත්තටම නම් ජනතා විමුක්ති පෙරමුණ මේකට එකතු උනේ යම් කාලයක පස්සෙ. මේ අරගලය පැන නැංගෙ වෙනත් හේතුන් කිහිපයක් උඩ. මූලිකවම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ වැටුප් වැඩිකරගැනීම වෙනුවෙන් සහ තවත් ඉල්ලීම් ගනනාවක් වෙනුවෙන් ඇරඹුනු වෘත්තීය සමීති ක්‍රියාමාර්ගය පොදුවේ සමාජ ඉල්ලීමක් බවට පත්කරන්න තෝරපු උපායමාර්ගයක් ඇතුලෙ තමයි අද වන විට මේ අධ්‍යාපනය සඳහා GDP එකෙන් 6%ක් වෙන්කිරීමත්, රාජ්‍ය/නිදහස් අධ්‍යාපනය රැකගැනීම කියන සටන්පාඨ හරහා රැල්ලක් විදියට ගොඩනැගිල තියෙන උද්ගෝෂණ මාලාව ආරම්භ උනේ. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම කියන එක ජවිපෙ සටන් පාඨයක් උනු පලියට ඒක ජවිපෙ හි විතරක් සටන් පාඨයක් නෙමෙයි.

ආරම්භය කෙසේ වෙතත්, මේ වන විට විවි ආචාර්්‍යවරුන් මැදිහත්ව ආරම්භ කල අරගලය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා බලකෙරෙන ව්‍යාපාරයක්, අරගලයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඒ තුල විවිධ දේශපාලනික න්‍යායපත්‍රානුකූලව වැඩ කරන්න උත්සහ කරන කන්ඩායම් ඇති. නමුත් පොදුවේ මේ ගොනුවීම තුල ඊට වඩා එහාට ගිය සාධනීය බවක් තියෙනවා.

නමුත් මින් අදහස් වෙන්නෙ 6% සහ මේ ඉල්ලීම් කිහිපය ලැබීමෙන් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති සියලුම ප්‍රශ්න දූරිභූත වෙන බව නොවේ. නිසි කළමණාකරන දැක්මක් නොමැතිව 6% ක් නොව 50%ක් අධ්‍යාපනයට වෙන් කලත් අමුතුවෙන් කිසිවක් සිදු වෙන එකක් නැහැ. නමුත් මේ තියෙන තත්වය වෙනස් වෙන්න කොතනින් හෝ පටන් ගත යුතුයි. නිර්වින්ධිත ජන සමාජයක් නැවත හරි පාරට ගෙන ඒමට යම්තමින් හරි මෙවැනි අරගල හේතු වෙනවා.

/දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා./

ඇත්ත. මෙතන තමයි අවුල තියෙන්නෙ.

නිදහස් අධ්‍යාපනය කියන්නෙ හුදු නොමිලයේ අධයාපන කියන එකට නොවේ. ඊට එහා ගිය පුලුල් අදහසක් ඒ තුල තියෙනවා. එහෙත් අවාසනාවකට අපේ සමාජයේ නිදහස් අධ්‍යාපනය කියන දේ හඳුනාගන්නෙ නොමිලයේ අධයාපනය කියන තැනින්. ඒ නිසා ‘නිදහස් අධ්‍යාපනය රැක ගනිමු‘ කිව්වහම ‘නොමිලයේ අධ්‍යාපනය දියව්‘ වගේ අදහසක් තමයි පේන්න ගන්නෙ.

නිදහස් අධ්‍යාපන පනත ගෙන එන කාල වකවානුව වන විට ලංකාවේ සම අධ්‍යාපන අයිතියට තිබුනු ප්‍රධානතම බාධාව ආර්ථික හේතුන් (දැනටත් මම හිතන්නෙ එහෙමම තමයි) ඒ නිසා සම අධයාපන අයිතිය ඇති කිරීමට ගෙන ආ ක්‍රියාමාර්ග ඇතුලේ ඒ තත්වයට පිලියම් ලබාදීමට වැඩි ප්‍රමුඛතාවය හිමිවීම අනිවාර්යයක්. නමුත් අනික් අතට ඒ නිසාම ‘නිදහස් අධ්‍යාපනය‘ කියන්නෙ ‘නොමිලයේ අධ්‍යාපනය ලබාදීම‘ කියන දුර්මතය සමාජගත වීමට එයම හේතුවක් උනා. දැන්වත් මේ තත්වය හරියට හඳුනාගෙන ‘නිදහස් අධ්‍යාපනය‘ කියන දේ නිවැරදිව සංකල්පගත කිරීම ඉතා ඉක්මනින් කල යුත්තක්.

ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගන්නා සමහර තීන්දු-තීරණ වලදී මේ සංකල්පීය අවුල හොඳින් පේන්න තියෙනවා. නමුත් එහි වරද ඔවුන් මතම පැටවිය නොහැකියි.

/මෙවැනි වැටුප් විෂමතාවක් සහ සමාජ තලවල සැලකිය යුතු විකෘතියක් ඇතිවෙලා තියෙන්නෙ මේ යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය නිසා./

/නමුත් නිදහස් අධ්‍යාපනය පැවතුනු කාල සීමාවේදී මෙතරම් බණ කියන, සාක්ෂරතාවෙන් සංතෘප්ත වුන රටේ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය වෙනස් කරන්න අපට තවමත් බැරි වෙලා නේද?/

ඒක තමයි වෙලා තියෙන්නෙ. නිදහස් අධ්‍යාපනය කියන දේ කෙතරම් යහපත් දෙයක් උනත් අනිත් අතට ඒ හරහා ඇතිවුනු විකෘතීන් මඟින් අපේ සමාජයේ නීතිය සහ පිලිවෙල විනාශ කරන්න වැඩි බලපෑමක් කරල තියෙනවා. අද වන විට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ අඟහරු ලෝකේ අධ්‍යාපනය ලැබූ අය නෙවෙයි. මේ කියන නිදහස් අධ්‍යාපන මඟින්ම ඉහලට ආ අය. ඒ නිසා යම් තැනක ගැටළුවක් තියෙනවා. ඒ නිසා කල යුත්තේ මේ අංග විකල තත්වයට පිලියම් සපයන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හැකි තරමින් ක්‍රියා කරන එක. නමුත් එතැනට යන ගමන සඳහා මේ ඇතිවෙලා තියෙන උද්ඝෝෂණය/අරගලය හරහා සාධනීය පෙළඹවීමක්.

/සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් වදින්න. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න./

යම් එකතු කිරීමක් කලොත්,
සියයට හයක් ඉල්ලනවා මෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, ක්‍රමවේදයක් වෙනුවෙනුත් සටන් වදින්න. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න.

ප්‍රතිචාරයට බොහොම ස්තූතියි කසුන්. සමාවෙන්න ඕනෙ මගේ ප්‍රතිචාරය ප්‍රමාද වුනාට. ජනතා විමුක්ති පෙරමුණ මෙතනට අදාළ කරගන්න උවමනාව තිබුනේ රැළි නිසාම නෙවෙයි. හුදෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට එම පෙරමුණෙන් සිදුවුන බලපෑම අමතක කරන්න බැරි නිසා. අද ලංකාවෙ විශ්ව විද්‍යාල මේ තත්වයට ඇද වැටීම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සහ පැවති ආණ්ඩු, පවතින ආණ්ඩු සම සමව තමන්ගේ වගකීම භාර ගත යුතු නිසයි මෙතැනට ජනතා විමුක්ති පෙරමුණ අදාළ කරගත්තේ. ඒ හැර අනෙකුත් කරුණු සඳහා යම් එකගත්වයක් ඔබේද තියෙන නිසා ඉතිරි කරුණු වලට ප්‍රතිචාර දැක්වීම අවැසි නැති බවයි පෙනෙන්නේ. 🙂

Leave a Reply to කසුන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.