කාලෙක‍ට පස්සේ… 18

හප්පා… බ්ලොග් එක දැකපු කල්. මේ දවස්වල ඉවරයක් නැතිව කෙරෙන ‍වැඩ කන්දරාව ව‍ගේම අනපේක්ෂිතව කඩාගෙන වැටුන වයිරස් උණක් නිසා ඇ‍ඟේ පතේ අමාරුව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිවෙලා. හරිහමං දෙයක් මේ දවස් කීපය ඇතුළත ලියවුනෙත් නැති නිසා හිත ඇතුළෙ තියෙන්නෙ පුදුම බරක්. ඔ‍ය හිත ඇතුළෙ තියෙන දේවල් ඔහේ එළියට ගලාගෙන නොගියාම හිත ඇතුළෙ ඒ ඒ දේවල් ගොඩගැහිලා බරවෙනකො‍ට දැනෙන්නෙ පුදුම අසහනයක්. ඉතින් අන්න ඒක නිසයි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන එකේ විශේෂ‍ම වැදගත්කමක් දැනෙන්නෙ.

මේ දවස්වල වැඩිය (ඉන්ටර්නෙට් එකේදි වුනත්) කාත් එක්කවත් කතාබහක් නෑ. ඉන්ටර්නෙට් එකට එන්නෙත් අඩුවෙන්. පැ‍යකට දෙකකට වතාවක් ෆේස්බුක් ලොග් වෙලා මොකක්හරි කරලා ආයෙමත් වැඩකට බහිනවා. නැත්තං නිදාගන්නවා. එක්කො වැඩ. නැත්තං නිදි. ඔය දෙකෙන් එකක් නැත්තං ඉතින් ඒ කියන්නෙ නානව, කනව හෝ (වතුර) බොනව කියන අර්ථයෙන් තමයි.

මේ දවස්වල ගොඩක් අය කියන දෙයක් තමයි සුදාරක හරියට වෙනස් වෙලා කියන කතාව. ඔව්. කාලයත් එක්ක අනුවර්තනය වෙන්නත් එපැයි. ඉතින් ඒක නිසා සමහරවිට මමවත් දන්නෙම නැතුව වෙනස් වෙන්න ඇති. මේ අවුරුද්ද ගැන ලියන්න තාම කල් වැඩි වුනත්. අවුරුද්ද ගැන නොලියාම ඉන්න බැරි හදීසියෙවත් ඒ ඒ කරුණු අමතක වෙයි කියන අවදානම හිතේ තියෙන නිසා.

2009 අවුරුද්ද පටන්ගන්නේ පුදුම සැහැල්ලුවක් එක්ක. සාමාන්‍ය පෙළ විභාගෙත් ඉවරවෙලා හිතාගෙන හිටියෙ දැන් නං ඉතින් ජීවිතේ මල්! පුදුම නිදහස්! කියල. කොහෙද, ආපහු ගණිත ‍ප්‍රශ්න පත්තරේට ලියන්න වුන නිසාම ඒ නිදහස තිබුනෙ සති කිහිපයක් විතරයි. ඒ අතරෙම උසස් පෙළට පන්තිත් පටන් අරගෙන. ඉස්කෝලෙ නොතිබීම විතරයි වෙනස. පොඩ්ඩක් නිදහසේ ඉන්න කියල හිතුවට වුනේ තව තවත් හිරේ වැටෙන එකම විතරයි.

ඔය අස්සෙ තමයි පන්තිත් පටන් අරගෙන මාස දෙකක් විතර ගියාම විතර ‍කොහෙවත් නැති හෙණයක් ඇස් දෙක උඩ කඩා‍පාත් වෙලා හිත ඇතුළෙ පැලපදියම් වුනේ. මේක, එහෙම කියලා දැනුන පළවෙනි හැඟීමම වුන නිසා ජීවිතේට බලපාපු බලපෑම මෙතෙකයි කියල නිමකරන්න බෑ. ඒක එක්තරා ආකාරයක ජීවිත හැරවුම් ලක්ෂ්‍යයක්. කවදාවත් හරිහමන් කවියක් කියල දෙයක් නොලියපු කෙනෙක් කවියක් කියල කියන්න හරි පුලුවන් දෙයක් ලියන්න හදන්නෙ ඔය කාලෙ. අවදියෙන් හිටියත්, නිදාගෙන හිටියත් ඒ දෙක අතර කිසිම වෙනසක් නො‍වුනෙ. හීන ලෝකයක ජීවත් වුන නිසාම තමයි.

‍‍කොහොමහරි අන්තිමට, ඒක හීනයක් වෙලාම ගියා.

කොහොමහරි ඒකපාර්ශවිකවම කරපු ආදරයක් කෙනෙක්ව මේ තරම් දුරකට වෙනස් කරන්න පුලුවන් කියලා හිතනකොටත්. ඒකෙ පුදුමාකාර වටිනාකමක් තියෙනවා කියල හිතෙන්නෙ දැං. ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්නම ලැබීම ලොකුම වාසනාවක්. ඒ අතින් අත්දැකීම් අතින් අවුරුදු ගානක වැඩි විය එළඹීමක් මාස ගාණකින් සිදුවීම සුවිශේෂී පරිවර්තනයක්! තාමත් “එයා” දන්නෙ නැතිව ඇති  කොපමණ වෙනසක් සිදුවුනාද කියන කා‍රණේ. ඒ ව‍ගේම මගේ අතින් මගේ නොදැනුවත්කම නිසාම ගොඩක් වැරදි වෙන්නත් ඇති කියල දැං හිතෙනවා. දැං තමයි හිතෙන්නෙ. ඒ වගේම තේරෙන්නෙ. ඒක වයසෙ වැරැද්ද කියල. එහෙමවත් පොඩි පොඩි වැරදි නොකරවනං එතන තියෙන වෙනස මොකක්ද කියලත් හිතෙනව. ඒ වුනත්, වැරදි වුනත් පොඩ්ඩක් හිතල මතල කරන්න කියන උපදෙස තමයි ‍මේ වයසට එන්න ඉන්න අයට දෙන්න තියෙන එකම උපදෙස. කොහොමහරි ඒ වුන වැරදි ගැන අද මම කණගාටු වෙනවා. පන්තියට (දැං පංති දෙකටම) හඳ නොපායන නිසා අමාවක අහස දිහා බලාගෙන ඒ කණගාටුව හිතේ තියාගෙන බලාගෙන ඉන්නවා විතරයි. (ඒත් හිතේ එහෙම්මම කියලත් දරුණු කණගාටුවක් නැති ගාණයි)

ඔය අතරෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල එන්නෙත් පුදුමාකාර දවසක. පුදුම ගැලපීම් කිහිපයක් එක්කම. ප්‍රතිඵල සතුට තවත් වැඩිවෙන්නෙ ඒ සතුට සජීවීවම අන්තර්ජාලයේ බ්ලොග් ලියන්නං කීපදෙනෙක් එක්ක බෙදාගන්න ලැබීමත් එක්කම. ඇත්තටම ප්‍රතිඵල හිතට සතුටක් ගෙනාවට හිත ඇතුළෙ පුදුම සංතෘප්ත කරන්නම බැරි හිඩැසක් ඉතිරිවෙනවා. ඒ එක අකුරක් නිසා. ඒකනිසා කියන්න තියෙන්නෙ ප්‍රතිඵල ආවාට පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නැහැ. තමන් හරියට කැපවීමෙන් වැඩකරොත් සාමාන්‍ය පෙළ කියන්නෙ ඕනෙම කෙනෙකුට ඉතාමත් ලෙහෙසියන් A9ක් ම අර‍ගන්න පුලුවන් විභාගයක්. කට්ටිය කැපවීමෙන් වැඩ කිරීමෙන් 100%ක ප්‍රතිශතයකින් සාමාන්‍ය පෙළ සමත්වුනොත් මේ රට කරවන අයටයි එයාලගෙ කොමසාරිස්වරුන්ටයි මේ ‍රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් එවුන් ටිකක් ඉන්නවා කියලා පෙන්නන්න පුලුවන් වේවි.

ඔය අතරේ යුද්ධය යුධමය වශයෙන් ඉවරවෙනවා. යුද්ධය එහෙම ඉවරවීම විවිධ පැති වලට විවිධ විදිහට ධන වගේම සෘණ පැතිවලින් බලපාලා තියෙන හැටි හොඳට අධ්‍යයනය කරොත් පෙනේවි. ඒක එක එක විදිහටයි. මේ ගැන විශ්ලේෂණය කරන්න යන එක අහස ‍පොලව එකට ගැටගහන්න යනව වගේ වැඩක්. ඒක නිසා වැඩිපුර ඒ ගැන කතා නොකර ඉන්න එකම තමයි හොඳ.

ඊළඟට මුලින් කියපු හැරවුම් ලක්ෂ්‍යය තවත් අංශය ගණනාවකින්ම ඉදිරියට ගෙනියන්නෙ අටවක පුත්තු පොත. ඒ මෙතෙක් කල් දාගෙන හිටපු කණ්ණාඩිය දෙදරවලා ඇදගෙන වැටෙන තරමටම බලපාන තරමේ විදිහකට. ඒ අර්ථයෙන් ගත්තාම ඒක ලොකු වෙනසක්. ඒක නිසාම වැඩිපුර පොත් කියවීමට යොමුවීමත්. චිත්‍රපටි බැලීම ඒත් එක්කම විශාල ප්‍රතිශතයකින් අඩුවීමත් දෙකම එකට ගැටගැහිල තියෙන කාරණා දෙකක්. වැඩිපුර පොත් කියවීමට පෙළඹීම එක අතකින් චිත්‍රපටි බලන එකෙන් ඈත් වෙන්න හේතුවක් වෙනව කියල දැනගත්තෙත් ‍මේ ටික කාලය ඇතුළතදීම තමයි.

ඒ වගේම උසස් පෙළට අංශයක් තෝරාගන්න එක. මේ ගැන නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. මමවත් දැං කැමති නැහැ මේ ගැන කතාකරන්න. ඉතින් ඒක අමතක කරලා දාන එක හිතට වඩාත් හොඳ වේවි.

වයසෙ වැරැද්ද ගැන ආයෙමත් කතා කරොත් මේ කාලෙදී හිතට එන්නෙ පුදුම දේවල්. ඉතින් වැරදි කෙරෙන එක සාමාන්‍ය දෙයක්. මේ වැරදි වැඩිහිටි පරම්පරාවට තේරුම්ගන්න බැරිවීමම විශාල ප්‍රශ්නයක්. ඒ නිසාම සිදුවුන සිදුවීම් කිහිපයක්ම එක දිගට. අඩුම තරමේ මාසයකට එකක්වත් අහන්න ලැබීම ශිෂ්‍යයෙක් විදිහට හදවත කම්පා කරවන කාරණයක් වුනා. මේක තවදුරටත් ඉදිරියට ගියොත් මේ රට මළ ගෙයක් වේවි. අවුරුදු ගානක් ඉගෙනගෙන. ජීවත් වෙලා. ජීවිතය නාස්ති කරගැනීම විශාල අපරාධයක්. යුද්ධයෙන් නැති වුනේ ‍වගේම. මේ දැන් නැතිවෙන්නෙත් රටේ දියුණුවම තමයි. යුද්ධයෙන් තරුණ ජීවිත නැතිවීම අවසන් වුනාම. ආයෙමත් තව පැත්තකින් ජීවිත නැතිවීම ආරම්භ වීම එක්තරා ආකාරයක ශ්‍රී ලංකාවේ දෛවයේ සරදමක්ද කියලා හිතෙන තරම්.

ඒ වගේම සාහිත්‍ය ඒකකය සම්බන්ධ වැඩකටයුතු වලට සම්බන්ධ වීම මේ අවුරුද්දේ සිදුවුන තවත් සුවි‍ශේෂී සිදුවීම් අතර මුලින්ම ති‍යන්න පුලුවන් දෙයක්. ඒක අවසාන හරියට ගෙනාවේ හිතලම නෙවෙයි. ඒක අහම්බයෙන් සිද්ධවුන දෙයක්. ජීවිතයට අලුත් අත්දැකීම් ගණනාවක් එකතුකරගන්න ලැබීම වගේම අලුතෙන් ‍ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබීමම ජීවිතයට ලොකු පන්නරයක් වේවි කියලයි හිතන්නේ.

මේ අවුරුද්ද එක්තරා ආකාරයක පුදුමාකාර අවුරුද්දක්. මෙච්චර කාලයක් අවුරුදු 16කට නොලබපු අත්දැකීම් එක අවුරුද්දක් ඇතුළෙ අත්විඳින්න ලැබීමම එක්තරා ආකාරයක වාසනාවක්.  ඒක ‍මේ කලින් අවුරුදු 16දී මොනවද ‍කරේ කියල හිතන්නත් පොළඹවපු කාරණයක්. ඒ අතින් බලනකොට. ඉස්සරහ අවුරුදු වලදී මොන විදිහේ දේවල් වේවිද කියලත් හිතන්න පොළඹවන කාරණයක්. අනාගතය ගැන ස්වභා‍වයෙන්ම තියෙන කුතුහලය මිශ්‍ර වුන බය නිසාම හිත ඇතුළෙ තියෙන්නෙ පුදුමාකාර දෙගිඩියාවක්. හිතේ තියෙන ඉලක්ක සම්පූර්ණ කරගන්න පුලුවන්‍ වෙයිද කියන කාරණය හිත ඇතුළෙ හතර ‍වටෙන් ‍‍ටොකු ඇන ඇන වද-දෙන ප්‍රශ්නයක් වෙලා හමාරයි. කොහොමවුනත් අර මුලින් කිව්ව වාගේ ප්‍රතිඵල ආවාට පස්සෙ පසුතැවිලි වෙලා ඇති වැඩක් නැහැ කියන්නා වාගේ. දැන් දැන්ම වැඩ කරොත් ඉලක්ක සම්පූර්ණ කරගන්න පුලුවන් වේවි කියලා නම් හිතෙනවා.

මම මගේ පවුලේ මමම විතරයි නේ. ඒ කියන්නෙ අයියත් මම. මල්ලිත් මම. ඔය අතරේ මට ළඟදී අපූරු සහෝදරියක් ලැබුන. ඉන්නෙ නං ගොඩක් දුර. හැබැයි හදවතට ගොඩක් ළඟින්. එයයි යාලුවොයි ඉඳල හිටල පිස්සු වැඩ කරනව තමයි. ඉතින් තරහ යනවත් තමයි. ඒත් ඒකත් අර වයසෙ වැරැද්දෙම කොටසක් 😉 කොහොමහරි ඒක මගේම අනිත් පැත්ත වගේ. මීට මාස ගාණකට කලින් හිටපු සුදාරකගේ ඡායාව, මට ඒ පැත්තෙන් පේනව. 🙂

ගෑනු ළමයින්ගේ ප්‍රශ්නය කතා කරොත් ඒක තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සාමාන්‍ය ආකාරයේ පුංචි පහේ දෙයක් විතරයි. වයසත් එක්ක කෙරුන මෝඩකම් ගැන හිතනකොට මට මං ගැනම හිනා. ඇත්තම කිව්වොත් ලැජ්ජාවේ බැහැ. බ්ලොග් එකම බැලුවොත් හරියට නිකං ඒ ‍මෝඩකම්වල කණ්ණාඩියේ ප්‍රතිබිම්භය වගේ. ඉතින් මට, මං ගැනම. මාව දැකල. මටම හිනා යනව විතරයි. ඒවා තවදුරටත් සුන්දර මතකයක් විදිහට හිතේ තියේවි. බ්ලොග් එක තියෙන කාලයකට. අමතක වෙන තැන් මතකයට අරගන්නත් පුලුවන් වේවි.

මේ දවස්වල වැඩිය හිනාවක්. කතාබහක් නැතුව තමයි. විහිළුවක් ‍දෙකක් විකාරයක් කවියක් (තව කවි: 1, 2)කතාවක් නැතුවා තමයි. ඒ මොනවා වුනත් ‍මොන වෙනස්කමක් වුනත්. මේ සුදාරක. මේ සුදාරකම තමයි. ආයෙ ඒකෙ දෙකක් නැහැ. 🙂

18 thoughts on “කාලෙක‍ට පස්සේ…

  1. Reply කාලිංග Oct 13,2009 11:18 pm

    මම උබට ඕක කලින්ම කිවුවා 😀 ඔය ගෑනු පස්සේ යන්න එපා තේරුමක් නෑ, උන් ඔකොම එකයි, පිටින් ඔපේ යටින් හපේ 😀

    • Reply සුපුන් සුදාරක Oct 13,2009 11:20 pm

      සිරාවට. උඹ කියපුවා මට හොඳට මතකයි. 🙂 ඒව නිකං කිරිගහට මොකෙන්ද ඇන්න වගේ 😀

      • Reply කාලිංග Oct 13,2009 11:34 pm

        ගෑනු තමයි බන් මිනිස්සුන් ඇති කරන්න නැති කරන්නත් පුලුවන් ජාතිය, ඇයි කියලා දන්නවා ද මරාගන මැරෙන්න ගෑනු එවන්නේ මිනිසු නැතුව ? ගෑනුන්ට සමහර වෙලාවට හිතක් පපුවක් නෑ 😀

        හික් හික්

        දන් උබට පුලුවන්, මම උබට ඒ කාලේ කිවුවා වගේ දේවල් උබේ පොඩි එකෙකුට කියන්න, හැබැයි ඌ මම උබට කියනකොට හැනේ නෑ වගේ හිටියා වගේ ඌත් ඉදියි !!:D

    • Reply සුපුන් සුදාරක Oct 13,2009 11:44 pm

      හපොයි කාලිංග මාමේ… අන්න එක්කෙනෙක් දුම්මලවරම අතට අරගෙන 😀 කෝකටත් ප්‍රවේසමෙන් 😀

    • Reply සුපුන් සුදාරක Oct 13,2009 11:46 pm

      ඇයි බන් මණමේ නාට්ටිය තමයි හොදම උදාහරණය, ගෑනියෙකුට කරන්න පුලුවන් දේවල් පේනවානේ 😀

      හැබෑටම. ලොක්ක දැං කියනකං ඒ ගැන කිසි අයිඩියා එකක් තිබුනෙ නෑ 😀

    • Reply -බිன்ku- Oct 14,2009 12:59 am

      සාර්ථික නොවුණාට ඒ සිද්ධිය සුදාරකව වෙනස් කරා නෙව? 🙂

  2. Reply MaX Oct 13,2009 11:36 pm

    ඒකපාර්ශවික ආදරයකට උනත් කෙනෙක් තුල ලොකු වෙනසක් කරන්න පුලුවන් කියන කතාවනම් සහතික ඇත්ත….

  3. Reply වැප් Oct 14,2009 9:03 am

    ඇත්තක් උනත් බොරැවක් උනත් , වාක්‍ය ගැලපිම නියම තමා

  4. Reply සු Oct 14,2009 11:27 am

    මනමේ එකේ එහෙම දෙයක් වුණේ නෑ. පිස්සු තමයි. ඔය කාලිංග හිතේ අමාරුවට කියන කතා හැදෙන ළමයි ගණන් ගන්න එපා.
    අනෙක..මදැයි සුදාරක වෙනස් වෙනකං හිටියා..තාම අර පරණ —– ද ඉන්නේ ? හපොයි හපොයි…

  5. Reply බුධාජීව Oct 14,2009 9:30 pm

    මොනා කියන්නද.. මම නං ඕව දන්නෙ නෑ! 😉

  6. Reply Kirimama Oct 15,2009 8:19 am

    ohoma yan ohoma yAaaaN!

  7. Reply Malee_msg Oct 15,2009 3:42 pm

    ඒ වෙනස් වීම නම් ලිපිය ලියලා තියන විදියෙන්ම පේනවා.

Leave a Reply

%d bloggers like this: