මේ දවස්වල ජීවිතේ… 12

කලින් ලියාපු බ්ලොග් සටහනත් අයින් කරා නෙව. ඒක මට ටිකක් අප්සට් ගහපු වෙලාවක ලියවුනු එකක්. දැං හරි. සේරම යථා තත්වයට පත් වේගෙන වේගෙන එනව වුනත්. අනිත් පැත්තෙන් අවුරුදු දෙකකට විවෘත සිර කඳවුරක් ඇතුළෙ බරපතල වැඩ සහිතව හිර කරල තියෙනව වගේ අපේම භාෂාවෙන් කිව්වොත් “අම්බානෙකට” වැඩ. එක එක වැඩ. ඉවරයක් නැතුව වැඩ. උදෙන් නැගිටිනවා. ඉස්කෝලෙ යනව. වැඩ කරනවා. සංගමේට යනවා. බැනුම් අහනව. පන්ති යනව. ආයෙත් මහ රෑ වෙ‍නකොට ගෙදර එනව.

දැන් සෑහෙන්න දුරට බ්ලොග් එකෙන්. ෆේස්බුක් එකෙන්. ට්වීට‍රයෙන් අයින් වෙලා. ලියන්න නම් ඕනෑතරම් දේවල් තිබුනත්, ලියන්න හැදුවත් කොච්චර කරත් ලියවෙන්නෙ නැති එක ලොකුම අවුලක් වෙලා. ලියවෙන්නේ නෑ… ලියන්නයි ඕනෙ කියලා කොච්චර හිතේ තිබුනත් බලෙන්ම ලියපු ලියවිල්ල දැක්කම මට මාවම එපා වෙන තරමට අප්සට් ගතියක් තමයි දැනෙන්නෙ. අනේ මන්දා වැඩ වැඩිවෙනකොට මේ ලිවිල්ල කියන දේට ‍පොල්ල තියන්න වෙනවා කියන කතාව ඇත්ත තමයි. මොනව කරන්නද, තව අවුරුදු දෙකයි නෙව තියෙන්නෙ. කට්ට කාගෙන ඉගෙනගැනීමට විතරක් හිත යොමු කරගෙන වැඩ කරනවා කියන දරුණු අධිෂ්‍ඨානෙ ඔළුවෙ තියාගෙන මේ දවස්වල දිගටම වැඩ.

කොම්පියුටරේට දැනට මාස ගාණකට කලියෙන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆිල්ම් ටිකත් එක තැන පල් වෙනවා. Twilight ‍ෆිල්ම් එක බලන්න පුදුම ඕනකමක් තිබුනත් බලන්න හිතෙන්නෙ නෑ. දැන් ෆිල්ම් බලනකොට දැනෙන්නෙ එපා වෙන ගතියක්. ඒක එක්කො හොඳකට. නැත්තං නරකට වෙන්නත් පුලුවන්. කොහොමහරි මේ ගැන කිව්වාම අපේ මාමා කෙනෙක් කිව්වෙ වැඩිපුර පොත් කියවනකොට එහෙම වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත වෙන්න පුලුවන්. මේ දවස්වල පොත් කියවිල්ලටම තමයි වැඩිපුර අවධානය.

පොත් ප්‍රදර්ශනයට දවස් තුනක් ගියා. පළවෙනි දවසම ගියාට පස්සෙ. ඊළඟ‍ට ගියේ සඳුද දවසෙ. එදා ගැන නම් කතා කරල වැඩක් නෑ. ජීවිතේට අමතක‍ නොවෙන කට‍ු කාපු දවසක් වගේම ජීවිතේට අමතක නොවෙන බ්ලොග් ලියන කෙනෙක් විනාඩි 5කට (හෝ ඊටත් අඩුවෙන් වෙලාවක්) හම්බවෙලා කතා කරලා ආයෙත් හැරිලා පන්ති යන්න පිටත් වුනා. ආයෙමත් ඊළඟට බ්‍රහස්පතින්දා දවසෙත් පොත් ප්‍රදර්ශනය බලන්න ලැබුන එක ලොකු දෙයක්. පොත් තොගයක් අරගන්න ලැබුනා. මේ පාර ටිකක් අධ්‍යාපනේට හිත යොමු කරපු එක තමයි වුනෙ. අපේ අලුත් නිර්දේශයට හරියන්න භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය ඩී. ඩී. එන් බාලෝ දයා විසින් ලියැවුන පොත් තුනක් අර‍ගන්නකොට එතැනම රුපියල් දාහක් වාෂ්ප වුනා. පොත් ගන්නවා කියන එක හෙන කරුම වැඩක් එක අතකට.  කොහොමහරි එදා කැටපත් පවුරෙත් කවි දෙකක් ගහල ටිකක් රෑ වෙලා ගෙදර ඇවිල්ලා හොඳවයින් කන පිරෙන්න අහගත්තා. මම ඉක්මනට එනවා කියලයි කිව්වෙ. ඒත් දන්නෙම නැතිව පොත් තෝරද්දී වෙලාව ගත වුන හැටි නොදැනුන තරම්. ලියනගේ අමරකීර්ති සූරින්ගේ පරිවර්තනයක් වෙන “තරුණ නවකතාකරුවෙකු වෙත” පොතයි, එරික් ඉලයප්ආරච්චිගේ කවි පොත් දෙකක් වෙන “කිසිවෙක් කවියන් නොමරති” පොතයි, “මගෙ කොළඹට හඳ පායයි” කියන පොතත් අරගන්න ලැබුනා. පොත් කොච්චර ගත්තත් හිතේ තියෙන්නෙ සන්තර්පණය කරන්න බැරි ආසාවක් පොත් ගැන. පුලුවන්තරම් ඉක්මනට කොළඹ මහජන පුස්තකාලෙ ලියාපදිංචි වෙන එක කරගන්න ඕනෙ.

ඉන්ටර්නෙට් එකේ විවෘත ආරාධනාවකින් හැමෝටම ආරාධනා කරල තිබුන “අක්ෂර‍ සෙනඟ” ආරාධනාව දැකල ඒක බලන්න ගියේ ඊයෙ. උදේ පන්තිය ඉවරයක් කරලා අක්ෂර සෙනඟ බලන්න මහවැලි කේන්ද්‍රයට යන්න ඕනෙයි කියලා මහලොකුවට ගියාට මොකද ඒ යනකොට මහවැලි කේන්ද්‍රය කියන්නෙ මොකක්ද? ඒක තියෙන්නෙ කොතැනද කියලාවත් නොදැනයි මහවැලි කේන්ද්‍රයට ආවෙ. අන්තිමේ වෙලාවත් එන්න එන්නම ලං වෙලා හොයාගන්න බැරිව තියෙත්දී ත්‍රීවිල් එකකට රුපියල් සීයක් දිලා ත්‍රීවිල් එකෙන්ම මහවැලි කේන්ද්‍රයට එන්න පිටත් වුනා. රුපියල් සීයක් කිව්වාම මම හිතුවෙ මම ඒ වෙලාවෙ හිටපු තැන ඉඳලා හුඟක් දුර ඇති කියලා. මෙන්න ත්‍රීවිල් එකට නැග්ග විතරයි. ත්‍රීවිල් අයිය කිව්‍වනෙ “මේ තියෙන්නෙ මහවැලි කේන්ද්‍රය” කියල! 😮   මට ඉතින් අරූගෙ හොම්බ කට සමතලා කරන්න නොහිතුනා නෙවෙයි. වෙලාවෙ හැටියට ඉතින් මොනව කරන්නද කියල දවල්ට කන්න තිබුන රුපියල් සීය ඒ යකාට දීලා “අක්ෂර සෙනඟ” ඇතුළට ගියා.

අක්ෂර සෙනඟ ගැන කිව්වොත්, වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. මේ වෙනකොට නිර්මාණය වෙන්න අවශ්‍ය කරන සංවාදයකුත් නිර්මාණය කරපු එක ලොකු දෙයක්. ඒ වගේම කඩදාසි ගිනි ගණන් යන මේ කාලෙ අන්තර්ජාලය සාහිත්‍යමය උපකරණයක්, මුද්‍රණාලයක් විදිහට පාවිච්චි කිරීමේ අවශ්‍යතාව මතු කරපු එකත් ලොකු දෙයක්. ළඟදීම ඡායාරූප, වීඩියෝ ටික පිටවෙයි මං හිතන්නෙ. ඒ පැය දෙකෙන් පස්සෙ ඉන්ටර්නෙට් හරහා විතරක්ම දකින්න ලැබුන අය හැබැහින් දැකගන්නත්. ඒ අයත් අතරෙ යන කතාබහ වලට හොට දාලා අහගෙන ඉන්න ලැබුන එක ලොකු දෙයක්. සාහිත්‍ය ගැන පොත් ගැන ගොඩක් දේවල් දැන ඉගෙනගන්න ලැබුන එක අක්ෂර සෙන‍ඟෙ වටිනාකම තවත් වැඩිකරා. ඒ කියන්නෙ. යමක් අහවරක් කරල ඉවරවෙලා කට්ටිය පුටු වලින් නැගිටලා විසිරිලා යනවාට වඩා. එතැන ඉඳගෙන ඒ ගැන. වෙන දේවල් ගැන සංවාදයක් තැන් තැන් වල ඇතිකරගන්න ඉඩ සලස්වලා තිබුන එක ලොකු දෙයක්.

ඔන්න ඔහොම තමයි මේ දවස්වල ජීවිතෙ. ගණන් හදනවා. පොත් කියවනවා. උදෙන්ම නැගිටිනවා. ඉස්කෝලෙ යනවා. පන්ති යනවා. වල බහිනවා. බැනුම් අහනවා…

ආ බැනුම් අහනවා කිව්වාම තමයි මේ ෂෝක් කතාවත් මතක් වුනෙ. සංගමේ වැඩ වලට ගිහිල්ලා නොදන්වා ගිහිල්ල අපෙ පන්ති භාර සර්ට මාට්ටු වෙලා එක්කගෙන ගියා සර් කෙනෙක් ගාවට. අපේ පන්ති භාර සර් ඉතින් මාත් එක්ක අවුලක් නෑ එච්චර. මං ඉතින් කලා කාමී කියලා දන්න නිසා වැඩිපුර බනින්නෑ. හැබැයි… අර සර් කිව්වෙ නැතෑ…

“තෝව දානවා කලාව කරගෙනම ඉන්න ආර්ට් ක්ලාස් එකට මෙහෙම ගියොත්.”

එතකොට පන්ති භාර සර් කියනවා…
“සර් මූ මැත්ස් ක්ලාස් එකට ගිහිල්ලා ඊට පස්සෙ ආර්ට් ක්ලාස් එක‍ට මාරු වෙලා, ඊට පස්සෙ ආයෙමත් ආවා මැත්ස් කරන්න”

එතකොට අර සර්… (සර්ට තදවුනා අම්බානකට)
“එහෙමද! මේක හරියන්නෑ… තෝ ආයෙත් පන්තියෙන් එලියට අඩියක් තිව්වොත් දානවා ආර්ට් ක්ලාස් එකට!”

මටත් ඉතින් හිත ඇතුළෙන් හිනා… කොහොමහරි බයටම එදා ඉන්ටර්වල් එකේවත් පන්තියෙන් එළියට අඩිය තිබ්බෙ නෑ.

හැබැයි…
ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කියාපි ලු! 😀

‍කො‍හොමහරි අන්තිමේ ආයෙ මොකටද නෝන්ජල් වෙන්නෙ කියලා. මුන්ට ක්‍රියාවෙන්ම වැඩ පෙන්නනං කියල ගණිතය කරන්න හිත හදාගෙන හිත ගල් කරගත්තා. මේ දවස්වල පොත් පෙරල පෙරල වැඩ. කවුරුහරි මගෙ කාමරේ දැකගත්තොත් හිතන්නෙ මූ මානසික විකෘතිකයෙක් කියල. කොල හැමතැනම. කතා පොත් ඇඳඋඩ. ඒවා බදාගෙන තමයි රෑට නිදාගන‍්නෙ. කතා පොත් ටික කොහෙන් කියවන්න පටන්ගන්නද කියලා හිතාගන්න බෑ. ගණන් හදලා මහන්සි වුනාම කතා පොතක් පෙරල පෙරල බලන එක තමයි කරන්නෙ. එහෙම නැත්තං ෆේස්බුක් පැත්තෙ ගිහිල්ල මොකක්හරි, කාගෙහරි විගඩමක් බලල ආයෙමත් වැඩකරනවා. වැඩිය කාත් එක්කවත් චැට් කරන්නෙත් නැති තරම්.

මාර තෙහෙට්ටුයි, මහන්සියි, අමාරුයි… ඒත් ඉතින් ඒ දේවල් ජීවිතෙත් එක්ක අන්‍යෝන්‍යව (අතුරු කතාවක් – අපොයි ‍මේ වචනෙ ටයිප් කරගන්න හෙන ගේමක් දෙන්න වුනා. මොකක්හරි අවුලක් වෙලා බැක්ස්පේස් කරොත්, ආයෙත් “න්‍යෝ” අකුර මුල ඉඳලා ටයිප් කරන්න වෙනවා. ටයිප් කරල බලන්න වෙලාවක් තියෙනවානම් 😉 ) සම්බන්ධ වෙලා තියෙන නිසා. ජීවිතේ නං මල්. ඔය ගඟක් වුනත් ගලනකොට ලස්සනක් තියෙන්නෙ ඇඹරි ඇඹරි. ගල් වල හැපි හැපි ගලනකොට නෙව. ඉතින් මට නම් තාම සුයිසයිඩ් එකක් කරගන්න හිතුනෙ නෑ.


වෙන බ්ලොග් සටහනකට දාන්න අමාරු නිසා මේකත් ‍මෙහෙම්මම ලියන්නන්. මේ දවස්වල ‍ටීවි එකේ යනව මයිලෝ එකේ මහ කචල් ඇඩ් එකක්. අර කොල්ලෙක් මොකක්ද එකක් අරගෙන පෙන්න පෙන්න ඉන්න එකක්. මිනිහා දිහා කෙල්ලොත් කන්න වගේ බලාගෙන යනවා. ඉතින් ඔය ඒ ව‍ගේ එකක් අරගෙන මාත් අපේ ක්ලාස් එකට ගියානං කවුරුහරි දැලේ දාගන්න තිබුන. පිස්සුනේ… ඔන්න මම මුදල් අරගන්නෙ නැතිවම වෙළඳ භාණ්ඩයට පොඩි මාර්කටින්ග් පාරක් දුන්න.

12 thoughts on “මේ දවස්වල ජීවිතේ…

  1. Reply Naveen Sep 27,2009 3:06 pm

    මල්ලී A/L කරගන්න මහන්සි වෙලා ඊට පස්සේ අනිත් දේවල් වලට ඕන තරම් කාලේ තියෙනව… මහන්සි වෙලා පාඩම් කරල ගොඩ යන්න ඊට පස්සෙ ඉතින් ජීවිතේම මල් තමයි.. 😉

  2. Reply මනුශාන් Sep 27,2009 3:13 pm

    එක තමා මම උබව ගිය දවස් දෙකෙම ඔන්ලයින් අල්ලගන්න ට්‍රයි කලා උබ ඔන්ලයින් නෑ
    ඔය අවුරුදු දෙකෙ හෙනේ අපිටත් දැන් ටික ටික වැදෙන්න පටන් අරගෙන දුක තමා . 🙁

    • Reply සුපුන් සුදාරක Sep 27,2009 5:09 pm

      ඔව් බං. ගිය දවස් දෙක විතරක් නෙවෙයි. ඉස්සරහටත් හෙනටම කාර්යබහුල වේවි. උසස් පෙළ කියන්නෙ හෙන මාරක ළිඳක් බං. හැබැයි ළිඳට වැටුන එකා ළිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ කියලා තියෙනවා නෙව. ගොඩ ආපු දවසට නං මල්ල්ල්ල්ල්ල් 😀

  3. Reply බුධාජීව Sep 27,2009 4:19 pm

    යකෝ, පන්‍ති ගිහිං මොකක්ද එක පෙන්න පෙන්න ඉන්න නෙවේ, සර්කාරයා කියන දෙයක් අහං හිටපං!

  4. Reply සරදියල් Sep 27,2009 4:22 pm

    හොදට ලියල තියෙනවා කොලුවෝ….
    BTW
    කොහොම්හ‍්රි කලින් post එක remove ක‍රපු එක නම් හොද තීරනයක්..
    😉

  5. Reply ඉන්දරේ Sep 27,2009 5:01 pm

    අනේ මංදා.. දැං උඹ ලියන එව්වා කියෙව්වාම මොලේ උඩුකුරිඤ්ඤං වෙනවා O_o

    • Reply -බිன்ku- Sep 27,2009 9:28 pm

      මම හිතුවේ මෙහෙලකටත් වෙලා ඇති කියලා.

      මන්දා කියන්න දෙයක් තෙරෙන්නේ නෑ බං සුදාට බොක්කෙන් සුබ පතනවා හැරෙන්න.

  6. Reply akkandi Sep 28,2009 6:22 am

    ලස්සනට ලියල තියෙනවා. අක්ෂර සෙනග ගැන තවත් ලියැවුණා නම් හොඳයි කියල හිතෙනවා.මොකද…දුරු කතර ඉන්න අපිට බලා ගන්න.
    ගණිතයම කරන්න, කලා කළා කියලා සෙතක් වෙන්නෙ නැහැ. ගණිතය, විද්‍යාව කරපු අය ඒවා කළා කියලා නිර්මාණ හැකියාව අඩු වෙන්නේ නැහැ. ඔබේ හැකියාවන් අගය කරනවා,මම ඉහළින්ම. ලියන එක නවත්වන්න එපා.

  7. Reply Kirimama Sep 28,2009 8:52 am

    බොලං පැංචො.. අපි ඉස්කෝලෙ යන කාලෙත් කලාව සාහිත්‍යය කළේ විද්‍යාව පංති වල එවුවො.. සාහිත්‍යය කරන එක හොඳ වැඩක්.. හැබැයි.. ඒකෙන් හම්බ කරගෙන කන්න බැහැ.. ජීවිත කුසලතාවක් හදා ගන්න පාරක් තමයි උසස්පෙළ.. ඕකෙන් ජීවිතේ ඉවර වෙන්නෙවත් පටන් ගන්නෙවත් නැහැ.. පාඩම් ටික ට කාල සටහනක් තියා ගෙන.. ඉතිරි කාලය කියවන්න ලියන්න පාවිච්චි කරපං… සොෆිගෙ ලෝකයේ… අරිස්ටෝට්ල් ගැන තියෙන දෙවන පරිච්ඡේදය කියවලා පටන් ගනින්… ජය!

  8. Reply hansi Sep 28,2009 6:04 pm

    අනේ මලයො මාත් ඉස්සර හිතුවෙ උසස් පෙලින් ඔක්කොම ඉවරයි කියල..දෑන් තමයි තේරෙන්නෙ එක එහෙම නෙමේ කියල.කොහොමහරි උසස් පෙලින් පස්සෙ සරසවියට යන්න ලැබුනා.එකත් තව අවුරුදු 4 ක් ම….දෑන් හිතෙනවා උසස් පෙල කරනකොට මීට වඩා හොදයි කියලා………

  9. Reply LishWish Sep 30,2009 9:11 am

    සුභ පැතුම්.. වැඩ කොරලා පෙන්නපං ඔය කෑ ගහපු ගුරු බෑයන්ට උඹ “සාහිත කාමී ගණන්කාරයෙක්” විත්තිය..
    ජයෙන් ජය..!

Leave a Reply

%d bloggers like this: