ජීවිතය යනු අත්දැකීම් සමුදායකි. 9

වැඩමුළු අතර අත්විඳි අත්දැකීම් කිහිපයක්. ජීවිතය හා යා කිරීමකි…

කාලෙකින් බ්ලොග් සටහනක් ලියැවුනේ නැත්තේ ජීවිතයට දැනිලා තියෙන තෙහෙට්ටුව නිසා. සමහර විට ළඟින්ම කියලා තියාගන්න කෙනෙක් නැතිවෙච්ච නිසා වෙන්න ඇති. දැන් ඉතින් කවි කතා ලියන්න තරම් හිතට උත්ප්‍රේරකයක් නෑ. හිතුවාට වඩා ආදරය කියන දේ හරිම සංකීර්ණ ප්ලෑන් එකක්. ඒක හොඳටම තේරුනේ මොනවාහරි වැඩක් කරන්න යද්දී. ආදරය ගැන හිතලා බැලුවො‍ත්. ම‍ම අළුත් විදිහට ලියන්න, කියවන්න, හිතන්න පටන්ගත්තේ එක්කෙනෙක් නිසා. මේක මට විතරක් පොදු කාරණයක් නෙවෙයි. තව බොහෝ දෙනෙකුට. මං හිතන්නේ හැමෝටම මේ සංසිද්ධියම තමයි. ඉතින් අන්න ඒ කාරණේ නිසා තමයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන් උත්සාහ කරන කෙනා තමන්ටම ලබා ගන්න. මං ඒ ගැන ගොඩක් හිතුවාම මටම තේරුනා ඒක නිශ්ඵල දෙයක් කියලා. සාමාන්‍යයෙන් උත්සාහය කියන ‍දේ අතඅරින්න හොඳ දෙයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට සමහර හේතූන් මත මේ උත්සාහය කියන දේ අතඅරින්න සිද්ධ වෙන එක හරිම ස්වභාවිකයි. ඒ ඉතින් එක දෙයක් ගැන. මේ මේ කරුණු කාරණා ඔළුවේ දරාගෙන ඉන්න නිසාත්, උත්ප්‍රේරකයක් කියලා දෙයක් දැන් නැති නිසාත් මේ බ්ලොග් සටහන ලියන්නේ මීට කලින් ලියාගෙන ගියපු බ්ලොග් සටහන් පහ-හය මකලා දාලා. මේකත් නොමැකේවී කියන බලාපොරොත්තුවෙන් ඉදිරිටම ලියාගෙන යමු.

සුදාරක ළඟදී දකුණු පළාතට ගියා, ගිහිල්ලා ලොකූ වැඩ කන්දරාවක් කරා කියන දේ ඉතින් දැන් හැමෝම නොදන්න කාරණයක් නෙවෙයි. මං විතරක් නෙවෙයි. අපේ සභාපති ලක්පති. මගේ බ්ලොග්කරණ හිතමිත්‍රයා ඉද්දා… මේ හැමදෙනාම එකම කණ්ඩායමක් විදිහට සහෝදර හැඟීමකින් තමන්ගේ වැඩ කටයුතු රාජකාරී ඉටුකරපු සතියක් තමයි ඒ. හරියටම ජුනි 22වෙනිදා ඉඳලා ජුනි 26වෙනකන්. සතියකට ඉතින් දින 7ක් තියෙනවා තමයි. මම ඒකෙන් දින පහක් විතරයි උස්සලා පෙන්නුවේ. ඒත් කාලය කියන දේ එහෙම මනින්න බෑ. පැය වලින්, මිනිත්තු වලින් මැන්නාට කාලය කියන දේ හරිම සාපේක්ෂයි. උදාහරණයක් විදිහට දැනිලා තියෙනවා නේද කොච්චර හිමින් වෙලාව යනවාද කියලා… තමන් තනිවෙච්ච වෙලාවට? කරන්න මුකුත්ම නැතිවෙච්ච වෙලාවට… ඔරලෝසුවක් දිහා බලාගෙන ඉන්නකොට? ඒ වගේම වෙලාව කියන දේ ඇහිපිල්ලමක් ගහන ‍මොහොතකින් ඉවර වුනා වගේ දැනෙන වෙලාවල් තියෙනවා නේද? ඒ අටුවා ටීකා ඕනෑ නෑ. මං කියන්න උත්සාහ කරේ. කාලය කියන දේ ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට සාපේක්ෂයි කියන කාරණය විතරයි. ඒ සතිය…. හරි. ඒ දවස් පහ මට දැනුනේ තත්පරයක් වගේ. පුදුමයි. ඇත්තටම මට දැන් දැනෙන්නේ තත්පරයෙන් දාහක එකක කාලයෙන් ගෙවිලා ගියා වගේ. කොච්චර නම් දේවල් කරන්න ඇත්ද? ආයෙත් ඒ වගේ ගමනක් යන්න පුළුවන් වෙයිද?

බෑ…

ඒ වගේ ගමනක් ආයෙමත් යන්න බෑ. මොකද ඒ වගේ ගමනකට තියෙන්නේ, ඒ වගේ කාල ප්‍රාන්තරයක්, ඒ ගමනේ ඉන්නකොට තියෙනවා වගේ මානසිකත්වයක් විතරයි. තව අවුරුද්දකින් මෙතන වාඩි වෙලා ඉන්නේ මම නෙවෙයි. ඒ වෙනම “මම”ක් විතරයි. වෙනම භෞතික වශයෙන් ජීවියෙක් විතරයි. හැබැයි හිතුවිලි කන්දරාවක් ඒ වෙනකොට, ඒ දින සති මාස ඇතුලේ එකතු වෙලා තියේවි…

ආහ්… මේ සටහ‍නේ අගක් මුලක් කියලා දෙයක් මට තේරෙන්නේ නෑ වගේ. මේක කියවනවානම් ඒක එහෙම හිතෙනවාද? ගණන් ගන්න එපා. ඒක මේ බ්ලොග් සටහනේ හැටි. තේරුමක් කියලා දෙයක් නෑ. ඔහේ කියවාගෙන යන්න. එපා වගේ නං නිකං ඉන්න… මම ලියනවා… ආයෙත් නම් මකන් නෑ… නෑමයි…

මං මේ කියාගෙන ගියේ හිතිවිලි ගැන. ඒ සතිය ඇතුළත කාලය ඇ‍තුළේ මම හිටියේ වෙනම ලෝකය. අවුරුදු 17යි දින දෙකක් පහුවෙලා පටන්ගත්ත ඒ කාලය ඇතුළේ. ඒ සතියයි, පහුගිය අවුරුදු 17යි දින දෙක ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරලා ගත්තාම. හරිනම් මුකුත්ම දෙයක් වෙලා නෑ වගේ. බලන්න… ජීවිතය ගැන මොනවාමහරි අවබෝධයක් ගන්න දවස් පහක් කරපු බලපෑම… අපි ඉන්නේ, අපිව හිරකරලා තියෙන්නේ පංතියක් ඇතුළේ. මම එක පංතියක. මේක කියවන තව කෙනෙක් තව පංතියක. හරි. අපි පංතිය කියන වචනය නැතිව පෙට්ටිය කියන වචනය ආදේශ කරමු. මම ඉන්නේ මගේ පෙට්ටියේ. මට පේන්නේ මගේ පෙට්ටිය ඇතුළේ තියෙන දේවල් විතරයි. අපි කියමු ඒ පෙට්ටිය විනිවිද දකින්න බෑ කියලා… එහෙනම් ඉතින් තමන්ගේ හිතිවිලි සීමා වෙලා තියෙන්නේ ඒ පෙට්ටියටම විතරයි. හරි. ඒ කතාව ටිකක් සංකීර්ණ ප්ලෑන් එකක් වගේ. මෙහෙම කියමු. මං පොඩි කාලේ හිටියේ තිස්ස. මං හිටියේ තිස්ස පෙට්ටියේ. ඒ කාලේ මම දැනගෙන හිටියේ තිස්ස ගැන විතරයි. මං දැනගෙන හිටියේ තිස්ස යාලුවෝ විතරයි. ඒක මට කට්ටිය කියනවා වගේ දුෂ්කර පළාතක් වුනේ නෑ. මම හැමෝගෙන්ම ඇහුවේ නැතිවුනාට මගේ හිතේ හොල්මන් කරපු ප්‍රශ්නයක් තමයි ඇයි තිස්ස දුෂ්කර වෙන්නේ. මේ තියෙන්නේ හොඳට කන්න-අඳින්න. මේ තියෙන්නේ වතුර. ඉස්සරහින් ලස්සන ඇළකුත් ගලනවා. තව පැත්තකින් වෙල් යාය. තව පැත්තකින් තිස්ස පන්සල… තව පැත්තකින් අපේ ඉස්කෝලේ… ඉතින් ඇයි හත්තිලව්වේ මේක දුෂ්කර වෙන්නේ? ඒක මොන කුණුහරුප කතාවක්ද? ඒකට එක ‍හේතුවක් මම හිටියේ මධ්‍යම පංතිය කියලා කියන පංතිය නිසා වෙන්න ඇති. අන්න ඒක නිසා බස් එකේ එල්ලීගෙන මගේ පංතියට එන මගේ වයසේ එවුන් ගැන මම හරිහැටි දැනගෙන හිටියේ නෑ. ශිෂ්‍යත්වය කියන දේ පාස් වෙනවා කියන දේ උන්ට ලොකු බරක් කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම පංති ‍ගියේ නැතිවුනාට, පංති යන එවුන්ට වඩා හොඳට ශිෂ්‍යත්වේ පාස් වුනේ ගෙදර තිබ්බ වටාපිටාව නිසා, අර මධ්‍යම පාංතික ගතිය නිසා කියලා තමයි මට දැන් හිතු‍නේ. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා  ලකුණු ගාන ඇහුවාම මට තේරුනේ නෑ ඒකේ ඇති මහලොකු වැදගත්කම. මට ඒක නිකං ඉලක්කමක්ම වුනා විතරයි. ඉතින් ඒ වෙලාවේ ශිෂ්‍යත්වේ ලකුණු අඩු වුන. ඒක නිසාම අඬ අඬ හිටපු ගෑනු ළමයෙක්ට මම කිව්වේ…

“ඕක ඉතින් ගණන් ගන්න එපා… ඔහොම තමයි” කියලා.
එතකොට එයා අඬන ගමන්ම මට බැනගෙන බැනගෙන ගියා… “තමුසේ ඉතින් පාස්නේ. පාස් වෙලා ඒකට තමුසෙගේ තියෙන මහන්තත්ත කමනේ ඔය…”

ඒ කතාව මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්. මම හිතුවා. මම ඒක කිව්වේ එයාගේ හිත සනසන්න මිසක්. එහෙම හිතකින් නෙවෙයි. ඉතින් ඇයි මට බැනගෙන බැනගෙන ගියේ… මම කල්පනා කරා…

දැන් මම හේතුව දන්නවා. ඒ වෙලාවේ මම හිරවෙලා හිටපු පෙට්ටියේ නෙවෙයි. මම දැන් ඉන්නේ. ශිෂ්‍යත්වේ පාස් වෙලා උසස් යැයි සැලකෙන පාසලකට ආවානං ඒක ලොකු ජීවිත පිටිවහලක්. අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ වෙනස්කරගන්න පුළුවන් කියන දේ ඒ අය දැනගෙන හිටි‍යා කියලා මං දැං දන්නවා. තමන්ට ඒ පීඩනය තිස්සේදී තිබුනා කියන දේ දැං මං දන්න කාරණයක්. ඒක ජීවිත අත්දැකීමෙන් දන්න කාරණයක්. ජීවිතේ කියන්නේ මහාම මහා අත්දැකීම් කන්දරාවක්. තමන්ට එල්ල වෙලා තියෙන පීඩනයෙන් මිදෙන්න ගන්න උත්සාහයක්. සමහරු ඒ සමාජ පීඩනයෙන් මිදිලා… ආපහු තමන්‍ගේ ඒ සමාජයටම පීඩනය යොමු කරනවා. ඒ වගේම සමහරු ඒ පීඩනයෙන්ම ඉඳලා මැරිලා යනවා. ඔන්න ඕකයි වෙන්නේ. මෙන්න මේ දේවල් ගැන හිතන්න මට අර මුලින් කියපු දවස් පහ ප්‍රමාණවත්. දවස් පහක් කියලා කිව්වේ සම්මත කාලයෙන්. මට ඒක තත්පරයක් වගේ…

ජීවිතේට පරිගණකයක් අතින් අල්ලලා නැති අයත් එක්ක අපි කතා කරා. ඒ අයගෙන් අදහස් ගත්තා. ඒ අය මේ අපි වගේම අය. ඉතින් ඇයි අපිට තියෙන දේවල් ඒ අයට නැත්තේ. මම එක්කෙනෙක් අපිට කියපු දේ අහගෙන හිටි‍යා. මෙතන වෙලා තියෙනවා ලොකු වැරැද්දක්. ඔව්. සමාජ ක්‍රමයේ තියෙන ලොකු වැරැද්දක්. මේක ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක්…  එක්තරා හේතුවක් මත සුදාරකට දකුණු පළාතේ ඉස්පිරිතාලයකට යන්න වුනා. හැම තැනම… “Donated By…” “ආධාර මත…” ඔය වගේ වචන තමයි හැම බිල්ඩිමකම. හැම වාහනයකම.  ඉතින් කොහොම දියුණු වෙයිද රට. තමුන්ට උඩින් ඇවිල්ලා බිල්ඩිම හදාදෙනකන් බලාගෙන ඉන්න කම්මැලි රටක් මේක. ආධාරවලට ලැබෙන දේවල් ගසාකන්න, එකෙන් ජීවත් වෙලා ඉන්න උදවිය ආධාර ගන්න ඕනකම නිසාම තියෙන දේවල් හරියට හදන්නේ නැහැ. මොකද අඩුපාඩු තියෙන තැනටනේ ආධාර දෙන්නේ. ඉතින් අර ආධාර වලින්ම ජීවත් වෙනවා.

ඒක එක ප්‍රශ්නයක් විතරයි. තව මේ වගේ ප්‍රශ්න ගොඩයි. අපිට අදහස් දක්වපු කෙනෙක් කියපු කාරණයක් තමයි. ඒ අය අපේ පාසලේ ප්‍රධානතම ඉසව්වක් ‍වෙච්ච ස-ග වගේ වැඩසටහන් බලනවා. ඒ බලන අතරේ ඒ අය දකිනවා පොඩි අය ඉතාමත්දක්ෂ විදිහට ඒ ඒ වාදන කටයුතු කරනවා කියන කාරනේ. ඉතින් ඒ පළාත් වලත් ඉන්නවා ඒ තරම්ම දක්ෂතාවට ළඟා වෙන්න පුළුවන් අය. ඒත්… පහසුකම් නෑ. සංගීත භාණ්ඩයක් අරගෙන දෙන්න විතරක් නෙවෙයි,  එදා වේල වත් හරියට හොයාගන්න බැරි සමාජ තලයකයි ඒ අය ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි. කොළඹින් බැහැර (කොළඹ මේ තත්වය නැතුවා නෙවෙයි) සමාජ ජීවන තලයේ වටපිටාව. මේක අපේ කණ්ඩායමේ හැමෝම අධ්‍යයනය කරා. ඒ ව‍ගේම ඒ ඒ පළාත් වල. ති‍යෙන හොඳම දේවල් එක තැනකට කේන්ද්‍ර වෙලා. ඒ පළාතේ එක තැනකට විතරයි ඒ පහසුකම්. එතනින් එහාට මුකුත් නෑ. අර තියෙන අයටම ලැබෙනවා මිසක්. නැති අයට මුකුත්ම නෑ. ඒ දේ ලබාගන්න තරම් දැනුමකුත් නෑ. දැනුම ලබාගන්න විදිහකුත් නෑ.

මේ වගේ දේවල් තේරුම්ගන්න අවශ්‍යයි. NGO දාගෙන එක එක මඟුල් නැටුවාට. දිය රෙද්ද වෙනුව‍ට ගමේ ගෑනුන්ට බිකිනිය ඇන්දුවාට ප්‍රශ්නය විස‍ඳෙන්නේ නෑ. මේකට කවමදාකහරි විසඳුමක් අවශ්‍යයි.

මෙච්චර වෙලා කතා කරේ. සමාජ-දේශපාලනික වට පි‍ටාවක් ගැන. ඒ පිරිමි ළමයෙක් රාජකීයේ හිටියොත් කොයිතරම් දුරකට යාවිද, ඒ ගෑනු ළමයෙක් විශාකාවේ හිටියොත් කොයිතරම් දුරකට යාවිද. අපි කියන්නේ ඔක්කොම රාජකීයට ගෙනැල්ලා හිරකරන්න නෙවෙයි. මොනවාමහරි යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ ගැන වෙනම කතාකරමු. මේක ලොකු මාතෘකාවක්. ඒක අධ්‍යාපනය-සමාජය-දිළිඳුකම වටේ එතිලා තියෙන ලොකු කතාවක්.

ඇත්තම කතාව ගුරුවරයෙක් නැති තැන එතන පාසල් ශිෂ‍්‍යයෝ ලබාගන්නේ ලොකු නිදහසක්. මෙන්ම මේ නිදහස කියන දේ හරිහැටි පාවිච්චි කරන්න ඒ නිදහස ලබන ශිෂයින් අවදියෙන් ඉන්න අවශ්‍යයි. දැන් කාලෙන නම් ගුරුවරයෙක් නැතිව අරින ගමනක යන පාසල් ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් ආපහු එන‍්නේ කකුල් දෙකෙන් නෙවෙයි. අනිත් අයගේ උරහිස් උඩින්. මේක හැමෝටම සාධාරණ කාරණයක් නෙවෙයි. අපිට අන්න ඒ කියපු නිදහස ලැබුනා. මේ නිදහස ලබාගත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපිටම කියලා ලොකු ජීවිත අත්දැකීමක් විඳගන්න. වැඩමුළු වල අසාර්ථක වෙච්ච තැන් මොනවාද? සාර්ථක වෙච්ච තැන් ‍මොනවාද? අපි අපිම කතා ක‍රා. ගුරුවරයෙක් නැති තැන කතාකෙරෙන ගොඩක් දේවල් නිදහසක් ඇතිව අපි කතා වුනා. සමාජය ගැන දේශපාලනය ගැන වගේ දේවලුත් අපි කතා කරා. කවුරුවත් ආ‍‍වේ නෑ අපිට උපදෙස් දෙන්න. අපි අපිම සැලසුම් කරා. අපි අතරේ අඩු පාඩු තියෙන්න ඇති. ඒත් අපි යමක් කරා කියන දේ අපි දන්නවා. අපි අනුන්ගෙන් අදහස් ගන්නැති මහ උද්ධච්ච එවුන් කියලා නෙවෙයි අපිට කියන්න ඕනේ වුනේ. අපිට අවශ්‍ය වුනේ වෙනස් විදිහක උත්සාහයක් කරන්න. විප්ලවයක් කරන්න. ඉතින් ඒකයි අපි අපිම මේක අපේ විදිහට කරේ. බැනුම් අහපු වාර නං අනන්තයි. අත්දැකීම් ලබාගත්ත වාර අනන්තයි. නොසිතූ සිදුවීම් වලට මුහුනදුන්න වාර අනන්තයි. මේ හැමදේම වුනේ දවස් පහකට. නෑ…. එක තත්පරයකට.


ජීවිතේ කියන්නේ මාරම අමුතු දෙයක්. ජීවිතේ මේ කාලේ. ඒ කියන්නේ අවුරුදු 17-18-19 කාලේ. පුදුම දේවල් කරන්න හිතෙන්නේ. ම්… මේ දවස්වල චිත්‍රපටි බලනවා. පොත් කියවනවා කියන දේම තමයි. එතැනින් එහා ලෝකයක් නෑ.

හරි.


ඇති යාන්තං මේක ලියලා ඉවරයක් කරගන්න පුළුවන් වුනා. ඒක ලොකු දෙයක්…. 🙂 වැඩමුළු අතරතුරේ තව තව දේවල් ගැන… ම්… පුළුවන් වුනොත් කියලා දාන්නම් 🙂

මේ තියෙන්නේ අපේ සභාපති, ලක්පති සහෝදරයා අත්විඳපු තවත් අත්දැකීමක් ගැන.

9 thoughts on “ජීවිතය යනු අත්දැකීම් සමුදායකි.

  1. Reply Supun Sudaraka Jul 5,2009 4:45 pm

    මේක ටිකක් සංකීර්ණයි. මටවත් තෘප්තිමත් වෙන්න අමාරුයි මේක කියවලා… වැඩක් නැති බ්ලොග් සටහනක් වගෙයි මටනං පේන්නේ…

  2. Reply naleen Jul 5,2009 4:50 pm

    “ඒ පිරිමි ළමයෙක් රාජකීයේ හිටියොත් කොයිතරම් දුරකට යාවිද”
    විපක්ෂ නායකතුමත් රාජකීයේ ෙන්ද??

  3. Reply Supun Sudaraka Jul 5,2009 4:52 pm

    @naleen- එක පුද්ගලෙකුට සීමා කරන්න බෑ ඒ කාරණේ. ඒ කොහොම වෙතත් මම රාජකීය විද්‍යාලය ගත්තේ රූපකයක් විදිහට. එතැන්න වෙන ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඉසිපතන, කින්ග්ස්වුඩ්, ධර්මරාජ, ට්‍රිනිටි ඕනෑම එකක් දාගත්තාට මට අවුලක් නෑ 🙂

  4. Reply කණිෂ්ක Jul 5,2009 8:02 pm

    අනේ මන්ද.. මම නම් ඇත්තටම මේක කියෙව්වෙ නෑ…

  5. Reply Supun Sudaraka Jul 5,2009 9:40 pm

    @කණිෂ්ක- ආ… ඒක තමයි කියවන්න එපා. තේරුමක් නෑ 🙂

  6. Reply randeera Jul 5,2009 11:39 pm

    අපි සියලු දෙනා උපතේ සිට මරණය දක්වා ආදරය හා දෙවියන් අතර දෝලනය වෙනවා කියන එකයි මගේ හැගීම.මට එච්චරයි හිතෙන්නේ……

  7. Reply චතුර නිර්මාල් Jul 5,2009 11:50 pm

    මේ බ්ලොග් පෝස්ට් එකේ ගන්න දෙයක් නැහැ කියන්නෙ කවුද?
    හිතන්න ලොකු දෙයක් ඉතිරි කරලා තියෙනවා.
    අපි පාසල් යන කාලෙ කරන්න හිතුවෙවත් නැති දේවල් ඔයාලා තනියෙම කරලා තිහයනවා.ඒක ලොකු දෙයක්.
    ඇත්තටම මේක වටින ලිපියක්.
    සුපුන් සුදාරක මල්ලි, අපිට ඔබ ගැන ආඩම්බර වෙන්න පුලුවන්.පවතින සමාජ ක්‍රමය ගැන උසස් පෙල ශිෂ්‍යයෙකුට තිබිය යුතු නියම අවබෝධය ඔබට තිබෙනවා.

  8. Reply බූමින්ද අනුෂ්ක Jul 6,2009 7:04 pm

    මොනවා උනත් හොද වෑඩක්…. මුලින් නිකන් අප්සෙට් වගේ උනාට පස්සෙ පස්සෙ අපේ ජීවිත වලට ගන්න සුදුසු ගොඩක් දේවල් තියෙනවා.
    අපේ රටෙ ඉන්න ඈයන්ගෙ අකල්ප සන්වර්දනයක් සිද්ද වෙල නෙති එකයි මේකට ලොකුම හේතුව.
    අන්න එක අපිට කරන්නම පුලුවන්නම් මේ රට දියුනු කෙරිල්ල මහ ලොකු වෑඩක් නෙවේ…

  9. Reply මලී Jul 7,2009 10:48 am

    මේක කියවද්දි ‍සුදාරක මල්ලි කොයි තරම් වෙනස් වෙලාද කියලා මට හිතුනා.. පහුගිය ටිකේ දැක්ක මල් කඩන්න ඇගිලි ගැන්න සුදාරක එක පාරටම කොෂෙන් එළියට ආව සමනලයෙක් වගේ.. ඔයා කතා කරන දේ ගොඩක් ලොකුයි මල්ලි.. ඒක බිම් මට්ටමින් පටන් අරගෙන දේශපාලනය දක්වා යා යුතු දුරක්..! නිදහස ලබාගත්ත දවසේ ඉදන් අපි එතනට යන්න හබල් ගානවා.. ඒත් තාම එතනමයි!

Leave a Reply

%d bloggers like this: