Skip to content

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය

මැයි 19, 2009

Sri Lanka

සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු උදෑසන මීදුමත් එක්ක සුදාරකට ජාතික කොඩි පෙනුනේ තවත් හිරු දහසක ආලෝකයෙන්. ජාතික කොඩියේ සිංහයා සුදාරකට අත වැනුවා. බෝපත් ලෙළදුන්නා. කොළපැහැති තීරුවෙන් මුස්ලිම් ජාතිකයෙක් සුදාරක ළඟට ඇවිත් “අපි නිදහස්” කිව්වා. තැඹීලි පැහැති තීරුවෙන් දමිළ ජාතිකයෙක් ඉදිරියට ඇවිත් “අපිත් නිදහස්” කිව්වා. සුදාරක, “ඔව්, අපි හැමෝම නිදහස්” කිව්වා.

ඔව්, වසර තිහකට ආසන්න කාලයක් පුරාවට හිඟන්නාගේ තුවාලය පාරමින් බෙහෙත් අරගන්න එක එක විදේශයන්ගෙන් ආධාර උපකාර ඉල්ලුවා. විදේශ මුදලාලිලා තුවාලයට බෙහෙත් දීලා සුව වෙනකොට ආයෙත් ඇඟිල්ලෙන් ඇනලා හිඟන්නාගේ තුවාලය පෑරුවා. රට ණය බරින් මිරිකුනා. හිඟන්නාට මරණ බියක් ඇතිවුනා. ඒත්… එක්තරා නි‍මේශයකදී මේ හිඟන්නා අලු ගසා දමමින් නැගිට්ටා. මිට අවුරුදු ගානකට කලින් තිබ්බ ප්‍රතිශක්තිය නැවතත් ලබාගත්තා. විදේශ මුදලාලිලාට පයිං ගහලා එලවලා දැම්මා. තුවාලය ආපහු සුවවෙන්න පටන්ගත්තා. ඇඟිලි ගහන්න ආපු උන්දැලාට සිද්ධ වුනේ ආපහු තමන්ගේ ඇඟිල්ල අරගෙන තමන්ගේ නිවෙස් කරා පියාඹන්න. තාමත් අපි ආර්ථික වශයෙන් හිඟන්නෝ. තාමත් අපිගාව තියෙන්නේ පරණ කළා නිර්මාණ. තාමත් අපිට ඉතුරුවෙලා තියෙන්නේ පරණ ඇල වේලි. බෙහෙත් ගන්නයි, අරවා මේවාටයි ගත්තු ණය ගොඩගැහිලා. අම්මලාට තමන්ගේ සැමියන් නෑ. පුතාලාට තාත්තලා නෑ. මේ වගේ තවත් ඥාති සම්බන්ධතාවන් විශාල ප්‍රමාණයක් අපි දන් දුන්නා…

අවුරුදු 30ක් පුරාම හිඟන්නාගේ ඇඟ උඩ වාඩිවෙලා හිඟන්නාව පාලනය කරන්න “හදපු” උදවිය… බෑ බෑ… අපිට මේ තුවාලේ සුව කරන්න බෑ. අපි තුවාලේ ගලවලා කකුල අත පහ කපලා හිඟන්නාව බෙදමු කියලා කෑ ගැහුවා. ඉතින් දැන්… ඒ සුව කරන්න බැරි වුන තුවාලය සුව වෙලා. නිකම්ම නෙවෙයි. විශාල කැපකිරීම් රැසකුත් එක්කයි ඒ තුවාලය සුව කරන්න වුනේ. ඒ තුවාලය මුලු සිරුර පුරාම ඔඩු දුවන්න පටන්ගත්තු නිසයි.

සුදාරක ඊයේ ඉස්කෝලෙට ගිහින් එන ගමන් මගේදී, මුලු පාර පුරාවටම මතුවුනේ වෙඩි බෙහෙත් ගඳ නෙවෙයි. රතිඤ්ඤා ගඳ.   වෙඩි බෙහෙත් ගඳ මැකිලා ගිහින් කියලා සුදාරකට හිතුනා. කන ළඟින් පත්තුවෙන රතිඤ්ඤා සද්දෙට ගෑනු ළමයි ගැස්සිලා ගියා සුදාරක දැක්කා. ජාතික කොඩිය මිනිස්සු තමන්ගේ ගෙවල්වල, ආයතනයක ඔසවනවා සුදාරක බලාගෙන. සමහරු ජාතික කොඩිය තමන් අතේම තියාගෙන සීරුවෙන් ‍වගේ නැගිටලා හිටියත් සුදාරක දැක්කා. ජාතික කොඩිය ඔසවාගෙන එහේ මෙ‍හේ දුවමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවාත් සුදාරක දැක්කා. බෝම්බ බයකුත් මීට කාලෙක‍ට කලින් ඇතිවෙලා තිබුන නිසා සුදාරකගේ හද ගැස්ම වැඩි වුනේ බැරි වෙලාවත් මේ සද්ද බද්ද අතරින් බෝම්බ සද්දයක්වත් ඇහේවි කියලා මර බියෙන්. ඒත් වාසනාවට එහෙම වුනේ නෑ. එහෙම වෙන එකකුත් නෑ. සුදාරකට හිතුනා.

අපිට දැන් සම්පූර්ණ රටක් තියෙනවා. මේ රට දියුණු කරන්න අපට පුලුවන්. සියලු සම්පත් සියළු ජාතීන් අතර බෙදිලා යන. සියළුම ජාතීන් රටේ දියුණුව උදෙසා කැපවන රටක් අපිට ඉදිරි‍යේදී ලබාගන්න අවශ්‍යයි. ඒක ‍විශාල අභියෝගයක් නෙවෙයි. ශ්‍රී ලංකාව තමන්ගේ මව් භූමිය කියන හැඟීමකුත්. සියල්ලෝ අප ‍සහෝදරයෝ සහෝදරියෝ යැයි හැඟීමකුත් පමණකුයි අපට අවැසි. පරාද කරන්න බෑ කියපු ත්‍රස්තවාදය පරාද කරපු අපිට ඕකත් මහ ලොකු කජ්ජක්ද?

සිංහල කතා කරන මිනිහා සිංහල සාහිත්‍යත්, දෙමළ කතා කරන මිනිහා දෙමළ සාහිත්‍යත්. චිත්‍ර පට කලාවත් දියුණු කරලා මිනිසාට හැඟීම් කාවද්දන්න අවශ්‍යයි. සාහිත්‍ය දියුණුවකින් තොර හු‍දෙක් භෞතික දියුණුවකින් ඉදිරියට ගියොත් ආයෙත් කවදාහරි පීඩිත පංතියක් නිර්මාණය‍ වෙන එක වලක්වන්න අමාරුවෙයි. ඉදින්, සියල්ල මනාව සැලසුම්කරන ලද වඩාත් මානව හිතවාදී ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. සියලු ජනයා අතර තම අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා හැකියාවන්ද දියුණු කිරීමේ වගකීම භාර ගත යුතුයි.

මිනිසත්කමින් පිරුණු සමාජයක් නිර්මාණය කරමු. දියුණුවේ රන් දොරටු විවෘත කරමු. තුවක්‍කුවෙන් නොව හදවතින් කතා කරමු. තම හැකියාවන් හරහා මේ මුලු අභිමානවත් දේශයම අවදි කරමු…!

අපි “ත්‍රස්තවාදයෙන්” නිදහස්!

මෙවන් වූ උතුම් නිදහසක් අප වෙත ලබාදීමට සිය දිවි දෙවැනි කොට කැපවූ අති උතුම් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට හා දේශපාලනික නායත්වය ලබාදුන් අතිගරු ජනපතිඳුන්ට ජාතියේ උත්තමාචාරය!

ප්‍රතිචාර 10 leave one →
  1. කණිෂ්ක permalink
    මැයි 19, 2009 8:00 පෙ.ව.

    අවසන් සටන …අවසන්…|final countdown is over….
    ONE FLAG…ONE COUNTRY…
    “ආයු රක්ඛන්තු ආවඩා රණවිරුවණි! තිරං ජයතු මහ රජාණනි! ඔබ සියලු දෙනාම ජාතික වීරවරයො වන්නාහ.”

  2. මැයි 19, 2009 9:12 පෙ.ව.

    අනිවා, ඒත එක ලේසි නෑ මචෝ. චමිලගේ ලිපියෙන් පැහැදිලි කරලා ඇතිනේ මේ ගැන.

  3. මැයි 19, 2009 10:33 පෙ.ව.

    ‍ඔව්… අපිට තවා යායුතු දුර බොහෝයි..!

  4. මැයි 19, 2009 11:45 පෙ.ව.

    ඔබ කියන භෞතික – අධ්‍යාත්‍මික – සමාජයීය දියුණුවට ළඟා වෙන්න අපිට හැකියාව තියනවා. එදාට අපේ අභිමානය තවත් වැඩි වේවි. අධිමානයෙන් ඉන්න සමහර රටවල අධිමානය නැති කරන්න අපේ අභිමානයට පුළුවන් වෙන දවසක් ඒවි.

  5. මැයි 19, 2009 9:08 ප.ව.

    @කණිෂ්ක- ඔව් අවසන් “යුධමය” ගැටුම අවසානයි! ඉන් ඉදිරියට සාහිත්‍යමය, ආර්ථිකමය විප්ලවයක් වෙනුවෙන් සූදානම් විය යුතුයි. එය සිදු කරන්නේ තුවක්කුවෙන් නොවෙයි. හදවතින්, අත පයින්. අන්න ඒකයි තියෙන අභීයෝගය.
    @බින්කු- ඔව්.අනිවාර්යයෙන්ම. ලේසි නැති වුනත්. කොහොමහරි. උපරිම ධෛර්යයෙන් ඉදිරියට යා යුතුයි.
    @මලී- ඔව්… යා යුතු මග බොහෝ දුරයි!
    @බුධාජීව- අනිවා!

    ඔබ සියලුදෙනාටම තමන්ගේ ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ස්තූතියි පුද කර සිටිමි.

  6. මැයි 19, 2009 9:20 ප.ව.

    ඉදිරියට ඇත්තේ වචනයෙන් කරන වැඩ නොව ක්‍රියාවෙන් කරන වැඩය. ඒ දෙයට අපි සැවොම සහභාගි විය යුතුය.

  7. මැයි 20, 2009 2:13 ප.ව.

    “බෝම්බ බයකුත් මීට කාලෙක‍ට කලින් ඇතිවෙලා තිබුන නිසා සුදාරකගේ හද ගැස්ම වැඩි වුනේ බැරි වෙලාවත් මේ සද්ද බද්ද අතරින් බෝම්බ සද්දයක්වත් ඇහේවි කියලා”

    මටත් ඔහොම හිතුනා ඇත්තම කියනවා නම්…එත් දැන් නම් එහෙම හිතෙන්නේ නෑ.ඒ වෙනුවට අමුතු ආඩම් බරයකින් හිත පිරිලා. ඔව් මල්ලි ඔයා කියනවා වගේ දැන් අපිට වැඩ පටන් ගන්න කාලේ ඇවිත්

  8. මැයි 20, 2009 11:23 ප.ව.

    හිගන්නාගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත දේශපාලුවෝ යුද්ධෙ බෑ සාමෙ සාමේ කිය කිය අවුරුදු 33ක් මේක ඇද්දා! මෙතන තේරුම් ගන්න දෙයක් තියෙනවා ඔබට යක්ෂයා සමග කතා කරන්න නම් උගේ යක්ෂගති අඩුම ගානේ මෙල්ල කරලා ඉන්න ඕනා. මෙතන උනේ ඌ එක්ක කතා කරන්න ගියාම ඌ තවත් වැඩ පෙන්නන්ඩ ආපු එක. මං හිතන්නේ හමුදාව කොටු කරාට පස්සෙ මෙල්ල වෙන්න ඇති ඒත් ඉතින් දැන් මෙල්ල වෙලා මොකටද?

  9. මැයි 21, 2009 12:08 ප.ව.

    ඇත්තම ඇත්ත කථාවක්, යුද්ධයේ කෲරත්වය නෙවෙයි සිහිනය යථාර්තයක් වූ නිදහසේ අපූර්ත්වය විදිමින් රටක් විදියට ඉදිරියට යන වගකීම තියෙන්නේ අපේ අතේ …. හැම දෙයක්ම රටේ රජුන්ට පවරා බලා සිටිම නෙමෙයි….. ජාතියක් විදියට නැගී සිටින්න ඕන හැමෝම එකතුවෙන්න ඕන ……

    අභිමානවත් ජාතියේ සේනාධිනායකන්ටත් රට ජාතියේ ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පීදූ රණවිරැවන්ටත් , විරැ මවුවරැන් පියවරැන් සොයුරැ සොයුරියනි ඔබ සැමට අපගේ උත්මාචාරය ……!

  10. ප්‍රියදර්ශන permalink
    ජූනි 8, 2009 2:41 ප.ව.

    අපි අභිමානවත් ජාතියක්…… රණවිරැවො ඒක ඔපපු කරල ඉවරයි….
    චිරං ජයතු!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS