නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? 29

කාලෙකට පස්සේ දේශපාලනය ගැන මොනවා මොනවාමහරි කුරුටු ගාන්න හිතුනා. ඉතින් මෙන්න කුරුටු ගානවා. වැරදි නිවැරදි කිරීම ඔබට බාරයි 🙂

The President Mahinda Rajapaksha
ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත්කමක් උසුලනා රටකි. ලොව සුළුතර ජනකොට්ඨාශයක් වන සිංහල ජනකොට්ඨාශයේ නිජභූමිය ලෙස වසර 2500කට අධික කාලයක් පුරාවට ආරක්ෂා වෙමින් පැවතී මේ භූමිය. ඊටම අනන්‍ය වූ ‍බුදු දහම සුරක්ෂිත කොට ගනිමින් මේ පැමිණි ඉදිරිගමන ඇගයීමකට ලක් කළ යුතුය. වාර්තාගත හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මත ගොඩනැගෙන දත්තයන් අනුව මෙරට තුල ලොව අන් කිසි රටක් හා සමකළ නොහැකි අති විශිෂ්ඨ වාරි තාක්ෂණයකින් සමන්විත විය. වඩාත් පුදුමය වන්නේ. ද්‍රවිඩ, මුස්ලිම් හා හින්දු බලපෑම් මධ්‍යයේ මේ පැමිණි ඉදිරිගමන ය. අවාසනාවට හෝ වාසනාවට ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී බලයට නතු විය. අධිරාජ්‍යවාදී බලපෑමට යටත් වීමට වර්ෂ දෙදහස් ගණනකට ප්‍රථමයෙන් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන ලද කල්හි මෙම භූමියට එල්ලවූ අභියෝග හමුවේ දේශපාලනික හා සාමාජීය වශයෙන් බිඳ වැටෙමින් නැවත නැගිටිමින් ඉදිරියට ගෙන ඒමට එවකට දේශපාලකයින් වූ ප්‍රබුද්ධ ඒකාධිපති රාජ්‍ය පාලකයින් සමත්විය. අනුරාධපුර, පොළොන්නරු යන ශ්‍රේෂ්ඨ යුගයන්ගෙන් පසුව එළැඹි අනිකුත් යුගයන් තුළ ශ්‍රී ලංකා රාජ්‍යය කෙමෙන් බිඳ වැටීමට ලක් වන්නට විය. බල ලෝභීත්වය උදෙසා මේ භූමිය කොටස් කරගැනීම. සහෝදරයා මරා රජවීම. පුතුන් තිදෙනා සිය පියා මරවා රාජ්‍යය කොටස් කර ගැනීම වැනි නොයෙකුත් රාජ්‍ය කූටෝපක්‍රම භාවිතයෙන් මෙම භූමිය භේද භින්න වූ අතර, නැවතත් එක්සත් වීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ බව අතිශයෝක්තියක් නොවේ. 1818, 1848 වැනි වර්ෂවල සිය නිදහස වෙනුවෙන් සටන් කරන්නට දේශීය ජනයා සිය ‍හිස එසවිය. නමුත් බ්‍රිතාන්‍යයන් සතුවූ දැඩි යුදමය ශක්තිය හා ඔවුන් අනුගමනය කරන ලද අති බිහිසුනු මර්ධනයන්ගේ ප්‍රතිපලයක් ලෙස තැන තැන ඇතිවූ කැරලි මර්ධනයට ලක්වූවා. මින් ඉදිරියට බ්‍රිතාන්‍ය පාලනය සෙලවීමට තරම් වූ විමුක්ති අරගලයන් නිර්මාණය නොවූ අතර, බ්‍රිතාන්‍ය හා වෙනත් බටහිර රටවල අධ්‍යාපනය ලබා පැමිණි සිංහල, දමිළ, මුස්ලිම් බුද්ධිමතුන්, දේශීය ජනතාවගේ නායකත්වය ගනිමින්, අයිතිවාසිකම් උදෙසා නිරායුධය ඉදිරියට පැමිණි අතර අනතුරුව 1948 කිසිදු යුදමය අරගලයකින් තොරව නාමික නිදහස ලංකාවට හිමිවූවා. ඉන් අනතුරුව 1972 දී පූර්ණ නිදහස හිමිවූ අතර. මාගේ මතය වන්නේ නම්, අප නිදහස් දිනය ලෙස ඇත්ත වශයෙන්ම සැමරිය යුතුව යුතු‍ව තිබූයේ 1972 මැයි 22 වෙනිදා බවයි. කෙසේ නමුත් අසල්වැයි රාජ්‍ය වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය නිදහස ලබාගත් ආකාරය පිළිබඳව යම් යම් සමානකම් තිබූ නමුත් බොහෝ අවස්ථාවන්හි පරස්පර විරෝධී බවක් පෙන්නුම් කරයි.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය වෙළඳ භාණ්ඩ වර්ජනය කරන ලදී
ඔවුන්, ඉංග්‍රීසි නම් භාවිතා කරන ලද්දේ නැත
සියල්ල සඳහා දේශය පෙරට තබමින් කටයුතු කරන ලදී

නමුත් ශ්‍රී ලංකාව සිය නිදහස ලබා ගැනීමේදී…
වෙළඳ භාණ්ඩ වර්ජනය කරන ලද්දේ නැත
සැමවිටම සාමකාමීව කටයුතු කරන ලදී
බොහෝ සිංහල නායකයන් ඉංග්‍රීසි නම් භාවිතා කරන ලදී (හින්දු හා මුස්ලිම් නායකයන් එසේ සිදු කරන ලද්දේ නැත)

නිදහස ලබා ගැනීම වෙනුවෙන් කැපවූ අප නායකයන්ට අනිවාර්යයෙන්ම අප‍ගේ ගෞරවය හිමි විය යුතු බවට 100%ක් එකඟ වෙමි. මේ උත්සාය ඔවුන්ට නිගරුවක් කිරීමට නොවේ.
ඉන්දියාව සිය පුරවැසියා තුල දේශ හිතෛශී භාවය දියුණු කරන ලද අතර, වර්තමානයේ ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ලෝක බලවතකුගේ තත්ත්වයක් ඔවුන් නිර්මාණය කරගෙන ඇත. නමුත් එයට හාත්පසින්ම වෙනස් වූ ශ්‍රී ලංකාව තුල නැවතත් දේශපාලනික කුලල් කා ගැනීම් ඉස්මතු විය. ‍දේශ හිතෛශී බාවය ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඈත් වන්නට විය. උතුරේ ත්‍රස්තවාදය ඉස්මතු වූ අතර දකුණු ප්‍රදේශයේ තරුණ අසහනය ඉස්මතු විය. මෑත කාලය වන විට අධික ණය බරක් ඉසිලීමට සිදුව ඇති අතර එවකට ශ්‍රී ලංකාව ‍සිය පූර්වාදර්ශය කරගනිමින් දියුණු වූ සිංගප්පූරු රාජ්‍යය වර්තමාන ලෝකයේ අති දැවැන්ත පෞරුෂයකි.

අපට වුනේ ‍මොකක්ද?
බල ලෝභීත්වය හා මුදල් වෙනුවෙන් සිය දේශය පාවාදීම ‍නිසාවෙන් ලංකාව සීඝ්‍ර අවපාතයකට ලක්විය.

උතුරේ ත්‍රස්තවාදය, දකුණේ දේශපාලන බල අරගලය, ලෝක ආර්ථික කඩාවැටීම සහ සුනාමි ඛේදවාචකයට මුහුන දී එයින් ගොඩඑමින් සිටි ශ්‍රී ලංකාවට නව නායකත්වයක් අවශ්‍ය විය. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ නිදහස් පක්ෂය එක්වී නව රාජ්‍ය නායකයෙක් නිර්මාණය කරන ලදී…

ඔහු අන් කවරෙකුත් නොව අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂය. එතුමා විසින් විශිෂ්ඨ දේශපාලනික නායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. ඒ මේ ආකාරයෙනි.

1. ශ්‍රී ලංකාවේ දියුණුවට ඇති එකම බාධකය යුද්ධය බව වටහාගනිමින්, ත්‍රස්තවාදය අවසන් කිරීමේ මහා ක්‍රියාදාමය දියත් කිරීම. අද වන විට අප එහි අවසානයක් දකිමින් සිටිමු
2. යුද්ධය, යුද්ධය යැයි නොකියා ර‍ටේ දියුණුව උදෙසා වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීම
1. වර්තමානය වන විට අභ්‍යන්තර මාර්ග පද්ධතිය විශාල දියුණුවක් ලබමින් සිටී
2. හම්බන්තොට ජත්‍යන්තර වරය ඉදිවෙමින් පවතී
3. ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ තාක්ෂණය උපයෝගී කරගනිමින් මාර්ග තදබදය හා ඉන්ධන අපතේ යෑම අවම කිරීම වෙනුවෙන් ගුවන් පාලම් ඉදිකිරීම ඇරඹීම
4. කෙරවලපිටිය විදුලි බලාගාරය
5. සිනමාවේ ඉදිරිගමනට ඉතාමත් වැදගත් වන තිස්සමහාරාමයේ ඉදිවන නව සිනමා ගම්මානය ඉදි කිරීම
6. මුදාගත් නැගෙනහිර ප්‍රදේශය සීඝ්‍ර දියුණුවකට ලක් කිරීම
7. ලංකාව පුරා නැණසල මධ්‍යස්ථාන ඉදි කිරිම
8. අඩපණව තිබූ ලංගම සේවාවන් යම් තාක් දුරකට උසස් කිරීම
9. දුම්රිය ගමනාගමනය යම් තාක් දුරකට උසස් කිරීම
10. උඩමත්තල ගුවන් තොටුපල ඉදිකිරී
11. කොළඹට සීමාවී තිබු දියුණුව වෙනත් ප්‍රදේශ වලට ගෙනයාම
3. සැඟවී තිබූ දේශ හිතෛශීත්වය ඉස්මතු වීම. (මෙය වෙනත් කාරණා සඳහා යොදාගැනීම නම් කණගාටුවට කරුණකි. ඒ පිළිබඳව වෙනම කතා කළ යුතුය. නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ දේශ හිතෛශීත්වය ඉස්මතු වීම සාධනීය ලක්ෂණයකි)
4. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් නිර්මාණය වීමේ සම්භාවිතාව ඉතාමත් අවමය. එබැවින් විපක්ෂයෙන් කොටසක් කඩා ආණ්ඩුපක්ෂය ස්ථාවර කරගැනීම ඉතාමත් වැදගත් දේශපාලන ‍ක්‍රමෝපායකි.
5. රටේ පුරවැසියා එක් අරමුණකට රැගෙන ඒමට සමත්විය
6. විදේශ බලපෑම් අවමයකට පත් කරගැනීමට සමත්විය
7. ඇමරිකාවට ප්‍රතිපක්ෂ ඉරානය වැනි රටවල් සමඟ මිත්‍ර සම්බන්ඳතා වැඩි දියුණු කරගැනීමට සමත්වූ අතර, ඇමරිකාව සමඟද යහපත් විදේශ ප්‍රතිපත්තියකට අනුගතව සිටීම

කෙසේ නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය හරහා පහත දෑ සිදුවිය. එය රටෙහි අනාගතයට සෘජුව හෝ වක්‍රව බලපානු ඇත.

* ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වේ. නමුත් වර්තමාන විපක්ෂය කෑලි වලට වෙන්වී අවසානය. එබැවින් ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමට තවත් අවුරුදු දහයක, පහළොවක කාල සීමාව තුලදී නොහැකි වනු ඇත.
* මිහින් එයාර් සිදුවීම
* දේශයේ තුන්වල ජන බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ වෙන් කිරීම. මෙයද එක්තරා ආකාරයක ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. පෙර සිටි නායකයන් තුවක්කුවෙන් මෙල්ල කිරීමට උත්සාහගත් මෙම පෙරමුණ අභීතව නැගී සිටිමින්, රටේ තීරණාත්මක අවස්ථාවන්හිදී “තුරුම්පුවක්” වෙමින් විශාල සේවාවක් ඉටු කරන ලදී. නමුත් මෙම පක්ෂයද අද ඇද වැටී අවසානය. එහෙයින් තුන් වන බලවේගයක් ගොඩ නැගීමේ සම්භාවිතාවද අවමයකට ළඟ වෙමින් පවතින සෙයකි.

දැන් මේ අවාසි හා වාසි සියල්ල සැසඳිය යුතුය. ප්‍රමාණයෙන් වැඩි වාසිද? අවාසිද? යන්න අප තීරණය කළ යුතුය. එය තීරණය කිරීමට ඔබට අවස්ථාව ලබා දෙමින් මම මෙයින් නිහඬ වෙමි.
– 61වෙනි ජාතික නිදහස් උළෙල නිමිති කොට ගනිමින් ලියැවුනකි.

29 thoughts on “නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද?

  1. Reply බුධාජීව Jan 31,2009 8:12 am

    >ඇමරිකාවට ප්‍රතිපක්ෂ ඉරාකය වැනි රටවල් සමඟ මිත්‍ර සම්බන්ඳතා …

    මචෝ, ඉරාකය ද ඉරානය ද ?

    ඇයි පලස්තීනෙ ? ඇමරිකාවෙ ප්‍රාන්තයක් නොහොත් අවජාතක දරුවෙක් වන ඊශ්‍රායලය පලස්තීනෙට ගහද්දි, අපි ඉන්නෙ පලස්තීනෙ පැත්තෙ නෙවෙයි ද ?

  2. Reply Supun Sudaraka Jan 31,2009 8:17 am

    @බුධාජීව – ආ වරද පෙන්නලා දුන්නාට ස්තූතියි! ඕං ඉරානය කරා 🙂
    ඔව්, ඇත්ත. මම එක උදාහරණයයි පෙන්නුවේ, සංකේතයක් විදිහට 🙂

  3. Reply ජයලත් Jan 31,2009 8:54 am

    කවුද කිව්ව වගේ මහින්දට කඩේ යන්ඩ නම් ඔනේ තරම් කට්ටිය ඉන්නව.

  4. Reply චම්පික Jan 31,2009 9:32 am

    අනිවාර්‍යයෙන්ම අනෙකුත් ජනාධිපතිවරුන්ට වඩා ඉදිරියෙන් සිටිනවා

  5. Reply බුධාජීව Jan 31,2009 9:32 am

    @ජයලත් :
    යතාර්ථය යථාර්ථය ලෙස දකින්නේ නැතිව, යමෙකුගේ හොඳ කියන විට තමන්ගේ සිත තුල ඇති වංක අදහස් නිසා රිදෙන ඇත්තෝ එමටයි.

    නමුත්, බ්ලොග් අවකාශ‍ේ මෙන්ම ඉන් පරිබාහිරවත් කොටියාට සහ දේශද්‍රෝහීනට තම පශ්චාත් භාගය පිරිනමන අවස්ථා වලදී ජයලත් ට එය කඩේ යාමක් ලෙස නොපෙනුනේ ඇයි ?

    නැවත වරක් හොඳින් කියවන්න. මෙය කඩේ යාමක්ද නැත්නම් මහින්‍ද රාජපක්‍ෂ ගේ හොඳ නරක ඇගයීමක් ද කියා. මන්‍ද, කඩේ යන්නෙතු අතින් කෙදිනකවත් මිහින් ලංකා ගැන ලියවෙයි කියා සිතන්නේ ද ?

    අනෙක් අතට අවැසි මෙය ලියා ඇත්තේ කඩෙ යාමට ද නැත්ද කියා විමසීම නොව, එහි ලියා ඇති කරුණු දෙස විවර වුනු මනසින් බැලීමයි.

  6. Reply සාගර Jan 31,2009 9:43 am

    වසර දෙකක කාලය තුළ මහින්ද කළ හොඳ වැඩ කිහිපයක් මම දකිමි.

    1. LTTE විනාශ කිරීම (මෙය ත්‍රස්තවාදය විනාශ කිරීම ලෙස වරදවා වටහා ගත යුතු නැත.)
    2. පාලම් හැදීම. (මෙය රටේ මහා මර්ග පද්ධතිය දියුණු කිරීමක් නොවේ. රටේ මහා මාර්ග පද්ධතිය මේ තෙවසර තුළ කිසිදු වැදගත් දියුණුවක් ලබා නැත. මහින්ද කර ඇත්තේ තියෙන පාරවල් වලට තාර හා කොන්ක්‍රීට් දැමීම පමණය. අඩු තරමින් ඒවා පළල් කිරීමක් වත් කර නැත. බොහෝ පාරවල් තාමත් සුද්දා තැනූ පළලය. අධිවේගී මර්ග සිහිනයකි. පාරට තාර දැමීමට ජනාධිපති කෙනක් අවශ්‍ය නොවේ. මහාමාර්ග හ දුම්-රිය මාර්ග පද්ධතියේ කළයුතු වෙනස කිරීමට අවශ්‍ය දර්ශනයක් ඔහු සතුව නැත. )
    3. ජවිපෙ නැත්තටම නැති කිරීම
    4. ඉන්දියාව සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම

    ඒ හැරුණු විට වෙන කිසිදු ක්ෂේත්‍රයක වැඩකට ඇති සංවර්ධනයක් කිරීමට මහින්ද සමත් වී නැත.

    LTTE නැති කිරීම පළක් නොවන්නේ මේ රටේ ජනවාර්ගික ගැටළුව විසඳීමට හැකියාවක් ඔහුට නැති නිසාය. අප රවුම් ගසා නැවත මුලින් සිටි තැනටම පැමිණ සිටිමු.

    අනෙක් පැත්තෙන් ඔහු රට ඉතාම භයානක මූල්‍ය අර්බූදයකට තල්ලු කර ඇත.

    ඒහෙත් මෙබඳු සටහන් දැකීම ගැන මම පුදුම නොවෙමි. රනිල් වික්‍රමසිංහ නම් ජෝකරයාගේ අකර්මන්යතාවය මහින්දට නැති ප්‍රතිරූපයක් මවා ගැනීමට ඉඩ ලබා දෙයි. රූපවාහිනියෙන් පොවන පුන්නක්කු සැදී පැහැදී තලු ගස ගසා බීමට පිරිසක් සිටිති. මේ අපේ කාලයේ ඛේදවාචකයයි.

  7. Reply namal udalamatta Jan 31,2009 9:56 am

    නිදහසට පෙර කියන්නේ 1505 සිට 1948 දක්වා. මේ කාලය තුළ අධිරාජ්‍යවාදීන්ගේ අනේක මර්දන මැද්දේ රටේ නැතිව ගිය නිදහස වෙනුවෙන් සටන් අවසන සිය පණ රටට දී රටේ නිදහස පිණිස ජනතාව අවදි කළ අභීත වීරයින්ගෙන් ඒ යුගය ඔපවත්.

    1948 සිට අද දක්වා බිහි වූ පාලකයින් අතර රාජපක්ෂ ජනපති සැබෑ වීරයෙක්. එදා මෙදා තුර බිහි වූ කිසි නායකයෙක් ඔහු හා සසඳන්න බැහැ. රටේ පැවති ලොකු ම ගැටළුව, මෙතෙක් නාකයින් නියම ලෙස හදුනා නොගත් ත්‍රස්තවාදය, ඔහු හදුනගත්තා. ඊට බෙහෙත දුන්නා. ඒ විදිහට ම ඔහු ප්‍රජාන්ත්‍රවාදී බෙදුම්වාදයත් හදුනාගත යුතුයි. ඒකටත් බෙහෙත් ලබාදිය යුතුයි. ඔහු මෙතෙක් කළ සේවය සදාතනික වන්නේ එවිට ය.

    ඔහු දුටුගැමුණු පැරකුම් විරුවන්ගේ තැනට ජනතා සිත් මතින් ඔසවා තැබෙන්නේ මගේ මව් බිම දෙකඩ කරන සියලු ආකාරයේ බලවේග විනාශ කර ඒකීය රාජ්‍ය ඉන්ද්‍රඛීලයක් සේ ශක්තිමත් කළ දිනට ය. බෙදුම්වාදය විනාශ කර, රට පුරා ව්‍යාප්ත වන සැමට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනය ක්‍රමවේදයක් බිහි කිරීම අත්‍යවශ්‍ය ය. එවිට කිසිවෙකුට රට බෙදුම්වාදය කරා යළි මෙහෙය විය නොහැකි ය.

  8. Reply සාගර Jan 31,2009 10:20 am

    දෙමු දෙමු ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදයටත් බේත. ඔක්කොම දෙමළු ටික මූදට තල්ලු කළාම හරි. ප්‍රශ්නේ ඉවරයි. හිට්ලර්ට හදන්න බැරිවුනු ආර්ය සමාජය ලංකාවේ හදමු.

    කොහොමටත් මහින්දට ඕනේ ආපහු රජකාලෙට යන්නනේ. රජකාලේ විරුද්ධ පක්ෂය කියල එකක් තිබුනේ නැහැනේ. රජ්ජුරුවන්ට විරුද්ධනම් සෙට්ට පොච්චි තමයි. අපි ආපහු එතැනටම යමු. සුබ ගමන්.

    (මමනම් හිතාගෙන හිටියේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කැමති කෙනකුට තමන් කැමති දේශපාලන දර්ශනයක් ඇදහීමට ඇති නිදහස කියලා. ඔව්ව ඉතින් මෙහෙට එනකොට ටිකක් වෙනස් වෙනවා. කාර් එකේ පාට වෙනස් කරන්නද කියලා හිට්ලර්ගෙන් ඇහුවම කිව්වලු “I don’t mind the colour as long as it is black” කියලා.)

  9. Reply සාගර Jan 31,2009 10:48 am

    පොඩ්ඩක් මතක නැති උනා. දේශමාමකත්වය ගැන කතා කරන කොට තමන්ගේ ජාතිය ඒක ඡත්‍ර (‘එක් සේසත්’) කළ නායකයන් අතර හිට්ලර්ට හිමි වන්නේ ප්‍රධාන තැනක්. (හැබයි හිට්ලර්ගේ ආර්ය සමාජයේ යුදෙව්වන්ට කොමියුනිස්ට් වාදීන්ට හෙම තැනක් තිබුනේ නැහැ. උන් බෙදුම්වාදීන් නිසා)

    වෙන එකක් තියා අපේ ඇස්.මහින්ද හාමුදුරුවොත් අපට කිව්වේ හිට්ලර්ගෙන් ඉගෙනගනින් කියලනෙ. උන්නාන්සේ කවිත් ලිව්ව ඒගැන. මට එක කවියක පද දෙකක් විතරක් මතකයි.

    පර්වතවල් තුනකින් වටවී වැනසෙන්න ඉතාම ළඟා වූ
    ජර්මනියේ නව ජීවෙ නොගත්තෙද දෙව් විකුමින් හර් හිට්ලර්

    (අනේ කාට හරි මතක නම් මට අන්තිම පද දෙක කියන්න. )

    හිට්ලරුත් මහින්ද වගේම තමයි. ගහගෙන ගහගෙන ගියා. යුරෝපයෙන් 90%ක් ඇල්ලුව, හරියට මහින්ද උතුර ඇල්ලුව වගේම. පරහකට හිටියේ ස්ටාලින්ග්‍රාඩ් වලදි සෙම්බුව හම්බවීම.

    තව එකක්. මහින්ද වගේම හිට්ලරුත් රටේ පාලම්, පාරවල් හැදුවා. ඔහු හදපු පාරවල් විශිෂ්ටයි. ඒවට කියන්නේ autobahn කියලා.

    මහින්ද හාමුදුරුවො කිව්ව වගේ අපිත් දැන් හිට්ලර් ගිය මාවතේ ගියා නම් හරි.

  10. Reply නිලන්‍ත Jan 31,2009 5:41 pm

    සාගර බොහොම හිතේ අමාරුවෙන් වගේ කතාකරන්නෙ. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ගැන බහුතරයක් සුභවාදීව බැලීමද, මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවරයක් කිරීමට උත්සාහ කිරීමද, නැත්නම් මහින්ද රාජපක්ෂ LTTE එක විනාශ කරන නිසාද කියල හිතාගන්න අමාරුයි. “ඔක්කොම දෙමළු ටික මූදට තල්ලු කළාම හරි. ප්‍රශ්නේ ඉවරයි” කියල බොහොම කුහක විදිහට ඔබ ප්‍රකාශ කරන්නෙ LTTE එක කියන්නෙ ලංකාවෙ සමස්ත දෙමල ජනතාව කියල වරදවා වටහාගෙන බවයි මට හිතෙන්නෙ. LTTE එකේ ඉන්නෙ ලංකාවෙ දෙමල ජනගහනයෙන ඉතා කුඩා කන්ඩායමක් බව නොතේරෙනවනම් ඒක ඔබේ දුර්වලකමක්. අනික LTTE එකට උදවු කරපු සිංහල ජාතිකයො ගැන මොකද කියන්නෙ.යුද්ධය ලාභ ලබන ව්‍යාපාරයක්නෙ. LTTE එක පහුගිය කාලෙ හොඳට ලාභ ලැබුව. ඒ ලාබෙට වහ වැටිචච එවුන් ලාබ බෙදාගන්න ඒකට එකතුඋනා. ඒ ලාබෙන් මොනවද දෙමල මිනිස්සුන්ට හම්බඋනේ. මොකුත් නෑ. ප්‍රභාකරනුයි උගේ ලඟම ගෝලබාලයොයි සැප ගත්ත ඇරෙන්න. දැන් මහින්ද යුද්දෙ ඉවරයක් කරන්න යනකොට ඒක දෙමල ජනතාව සංහාරයක්ය කියල ඔබ කියන්නෙ මොන පදනමකින්ද කියල මටනම් තේරෙන්නෙ නෑ. ඔබ නිකං සෝබනේට ඔහොම කෑගහනවනං කමක් නැහැ. මොකද ඔහොම කෑගැහුවම තමන්ට හරිවිශාල ප්‍රතිරුපයක් ගොඩනැගෙනව කියල සමහරු හිතනව. නැත්තං අර ලාභ ලබන ව්‍යාපාරෙ කොටස්කරුවෙක් කියල මිනිස්සු හිතන්න පුලුවන්.

    මහින්ද අල්ලන්න යන්නෙ ලංකාවෙ නීත්‍යානුකූල සිතියමට අයිති දැනට ත්‍රස්තවාදීන් පිරිසක් බලෙන් අල්ලං ඉන්න ලංකාවෙම කොටසක් බවත් සාගරට තේරුම් ගිහින් නෑ වගේ. නැත්තං හිට්ලර් වෙනත් රටවල් යටත් කරගත් එකට මේක පටලවගන්න ඕනි නැහැනෙ.
    අනික ඇස්.මහින්ද හාමුදුරුවන්ව විවේචනය කරන ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද කියලත් මට සැකයි. පිටදේශක්කාරයො ස්වදේශිකයන්ට කෙනෙහිලිකම් කරනකොට ඒකට විරුද්ධව ජනතාවගෙ සිතුවිලි අවදිකරපු අර ස්වාමීන්වහන්සේ ගැනත් ද්වේශයෙන් කතාකරන්නෙ ඔබට නුහුගුනේද නැත්නම් උන්වහන්සෙගෙ නමත් මහින්ද නිසාද.

    සත්තකින්ම මහින්ද රාජපක්ෂ නිදහසින් පසු ලංකාවේ බිහිවූ නායකයින් ගෙන් ශ්‍රේෂ්ඨම කොන්ද පන ඇති නායකයායි. ඔහුගේ දුර්වලතා තිබුනද එකී දුර්වලතාවන්ට වඩා ඔහු කර ඇති සේවය ඇගයීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට හැකිවිය යුතුය.

  11. Reply ගයාන් කල්හාර Jan 31,2009 6:14 pm

    හොඳ නරක දෙකම තියනව.

    ඒත් මම හිතන හැටියට මෙතන සියලුම හොඳ නරක මහින්ද රාජපක්ශ කියන චරිතය මත පටවන්න බැහැ
    රට ගෙනියන්න එතුමගෙ පෞරුශය, ස්ථිර අණ වැදගත් උනත් මම දකින විදියට අපිට සුද්ද පටු අරමුණකින් පටවපු ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුවෙ තවත් එක් ප්‍රතිරූපයක් පමණයි සියලුම දේ තීරණය වෙන්නෙ බලය ලබාගැනීමට මිනිසා තුල පවතින සහජ ආශාවත්,(බල ලෝබය කියන්නෙත් මේකටම තමා ), බටහිර රටවල බලපෑම් මතත් පදනම් වූ අපේ ආණ්ඩුක්‍රමය මතයි,මේක පේන දෙයක් නෙමෙයි ඒත් පවතින ඇත්ත මේකයි සියලුම දේ තීරණය වෙන්නෙ ඒ මත,

    මම මේ ප්‍රජාතන්ත්‍රවාදය මගින් බිහිකරන කිසිම නායකයකු, විරුද්ධවාදියෙකු පිළිගන්නෙ නෑ, මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියල අපිට බලෙන් පටවපු එංගලන්තයේ දිගුකාලීන යටත් විජිත ක්‍රමය කියන්නෙ කවදත් බටහිර මගින් අපිව පාලනය කරන විදියට සකසපු උරචක්‍රමාලයක්.

    මේක්‍රම නිසා ඉතා දියුනුව තිබ්බ අප්‍රිකාව සදාකල් එකිනෙකා කොටාගෙන බටහිර පෝශනය කරන අඩවියක් බවට පත්වෙලා, අපේ රටේ බුදුදහම හා බැඳුනු ශිෂ්ඨ සම්පන්න සංස්කෘතිය නිසා බටහිර බලාපොරොත්තු වූ තරමටම කරගන්න බැරිඋනත් තාමත් අපි වල ඇතුලෙ නේද?

    එහෙම අරමුණු ඉටුකරගන්නෙ බැරිඋන නිසාතමයි වේලුපිල්ලේ ප්‍රභාකරණ් කියන චරිතය හරහා තවත් වෑයමක් දැරුවෙ, ඒ ව්‍යාපෘතියත් දැන් ඉවරයි, ඒත් ඔවුන් සාර්ථකයි නේද?

    තව ගොඩක් දේවල් සාක්ෂි ඇතුවම බ්ලොග් සටහනකින් මම ඉදිරිපත් කරනව

    ===================================================================
    මාව දන්න අයනම් දන්නව, මම පැසිස්ට් වාදය (ජාතික සමාජවාදය ) ඉස්මුදුනින් පිලිගන්න කෙනෙක් බව,(හිට්ලර් ගෙ ලොකු පින්තූරයක් පවා බිත්තියෙ ගහගෙන ඉන්නව, ඊට උඩින් තියෙන්නෙ බුදුන්වහන්සේගේ රුවක් විතරයි, පිස්සුවක් වෙන්න පුලුවන්, ඒත්……………….. ) මම කියන්නෙත් අපිට ස්ථිර පාලනයක් අවශයි ගොඩ එන්න නම්, හැබැයි එහෙම එක උත්සාහයක් හරි දැරුවොත් අපිටත් වෙන්නෙ ඉරාකයක් වෙන්න තමා.

    හිට්ලර් ගත්මග තමා අපිට කවදත් ගැලපුනේ,කොමියුනිස්ට් වාදයත් හොඳ වුනත්,ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි, අද සමාජයේ හැටියට (මම කියන්නේ ලිප්ටන් රවුමෙ කෑගහන කොමියුනිස්ට් ක්‍රමය නෙමෙයි, සෝවියට් ක්‍රමය,) ඒත් මම දන්න හැටියට ලෙනින් උනත් ජර්මනියෙන් තමා කොමියුනිස්ට් ක්‍රමයට බීජ අරගෙන ගිහින් තියෙන්නෙ

    මට ලැබුන හොඳම අවස්ථාවක් තමා 2007 දි ජර්මනියට යන්ට ලැබිච්ච එක, ඊටත් වඩා හොඳ දේ තමයි, මගේ යාලුවෙක් ගෙ සීය කෙනෙක් එක්ක කථා කරන්ට ලැබිච්ච එක, එයා යුද්ධ කාලෙ Luftwaffe (සිංහලෙන් Air Force) නියමුවෙක් (Messerschmitt 109 නියමුවෙක්) එයා කිව්ව දේවල් මට තාම මතකයි, මම ඒව blog සටහනකින් කියන්නම් කෝ, (දැන් මට බනින්න එහෙම එපා පම්පෝරි ගැහුව කියල 😀 )

    @ සාගර

    කියාපු දේනම් 100% ඇත්ත. මගේ අදහසත් ඕකම තමා.

    පොඩි නිවැරදි කිරීමක් කරන්න තියනව
    ජර්මන් භාශාවෙන් autobahn කියන්නෙ HIGH WAY කියන එකටම තමා (මම දන්න විදියට,)
    ඒත් හිට්ලර් තමා ඕව පටන් ගත්තෙ, අදටත් ඔහු හදාපු පාරවල් තියනව.

  12. Reply manoj Jan 31,2009 6:48 pm

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුඛ රත්වත්තේ පරම්පරාව අවුරුදු 12 ක් රණවිරු ජීවිත බිලි දෙමින් යුද්ධය විකුණාගෙන තම තමන්ගේ බැංකු ගිනුම් පුරව ගත්තා.
    චන්ද්‍රිකාගේ දරුවන්ට එංගලන්තයේ ඇමෙරිකාවේ සුර සැප විදින්නත් අනුරුද්ධ රත්වත්තේගේ තමන්ගේ ඉපදෙන්න ඉන්න දරු මුණුබුරන්ට පවා බැංකු ගිණුම් සකස් කළේත් වසර දොළහක් යුද්ධය වවා‍ගෙන කාපු නිසයි. (එක් උදාහරණයක් පමණි.)

    මහින්දටත් ඒ වගේ යුද්ධය වවාගෙන කන්න (අඩුම තරමින් මීලග ජනාධිපති වරණය තෙක්) තිබුනු අවස්ථාවක් මගහැර ඔහු වසර කිහිපයක් තුල ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කර උතුර-නැගෙනහිර නිදහස් කර මිනිසෙකුට ලැබිය යුතු ඉහලම අයිතිවාසිකම වූ නිදහසේ ජීවත් වීමේ අයිතිය එම මිනිසුන්ට ලබා දුන්නා.

    මෙනිසා මහින්ද නිදහසෙන් පසු බිහිවු විශිෂ්ඨ නායකයන්ගෙන් කෙනෙකු ලෙස අද වන විට පත්වී ඇත. නමුත් නිදහසින් පසු බිහිවූ විශිෂ්ඨතම හෝ කොන්ද පණ ඇති නායකයා මහින්ද රාජපක්ෂ ද යන්න නිගමනය කරන්නටනම් අපට තවත් බොහෝ කල් ඔහු කරන නොකරන දේ නීරික්ෂණය කරන්නට සිදුවේවි.

    @ සාගර

    ඔබ සිංහල ජාතියට මෙතරම් වෛර කරන්නේ ඇයි. විදේශ රටක සිට පැමිණ අධිරාජ්‍ය වාදීන්ට බියේ නිවට නියාළුව සිටි සිංහලයා නිදහස කරා මෙහෙයවපු ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ටත් වැරදි පටවන්නට තරම් තත්වයකට ඔබ පත්වුනේ කෙසේද? (ඔබ වගේ තවත් අය ඉන්න පුළුවන්.ඒ නිසා ඔබ මෙවැනි තත්වයකට පත් වුන ආකාරය දැන ගැනීම අපි හැමෝටම වැදගත් වේවි.)

  13. Reply සාගර Jan 31,2009 7:51 pm

    @නිලන්ත, @මනොජ්,

    ජාතිවාදයේ පාට කණ්ණාඩි දාගත්තු අයට නොපෙනෙන බොහෝ දේ සාමාන්‍ය මිනිසුන්ට පෙනෙනව. දෙමළ ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ විසඳුම් නොසැපයීම තුළ ඒ කිසිවක් ඉබේ විසඳෙන්නේ නෑ. මහින්දගේ ඒකාධිපතිවාදය සිංහල ජාතිවාදීන්ට ඉතාම ප්‍රසන්න අත්දැකීමක්. ඔබට ඒ සම්බන්ධව ලොකු ජොලියක් ලැබී තියෙන්නේ ඒ නිසයි.

    මහින්ද හිමි ගැන මම කිව්වේ උන්වහන්සේගේම පැදි උපුටා දක්වමින්. ඔබ කියන්නේ උන්වහන්සේ ඒවා නොලිව් බවද? ඔබ එහෙම කියනවා නම් මට තව උදාහරණ දෙන්න පුළුවන්. මේවා වැරදි පැටවීම් නෙවෙයි. කරුණාකර බොරු චෝදනා කරන්න එපා. මේවා උන්වහන්සේ ලියපු දේවල්. මා උපුටා දැක්වුවා විතරයි.

    සිංහල මිනිසුන් ගැන මගේ කිසිම වෛරයක් නෑ. ඒත් දෙමළුන් සිංහලුන් විසින් පාලනය වෙන දෙවන පන්තියේ ජාතියක් විය යුතුය කියන ජාතිවාදීන්ට මා ප්‍රතිපත්තියක් විදියට විරුද්ධයි. හරියට හිට්ලර් යුදෙව්වන් දෙවන පන්තියේ ජන කොටසක් කිරීමට විරුද්ධ වුනා වගේ.

    @නිලන්ත, මෝඩයෙක් වගෙ බුරන්නේ නැතිව මා ලියූ දෙය අනෙකුත් කමෙන්ට් සමඟ කියවා බලන්න. මා කළේ දෙමළුන්ට ප්‍රජාතන්තික අයිතීන් නොදිය යුතුය කියා මුග්ධ යොජනාවක් කළ ජාතිවාදියාට ඌනපූරණයක් සැපයීම පමණයි. ඔබ මහින්දට කඩේ ගියාට කමක් නෑ. නමුත් ඇත්ත විකෘති කරන්න එපා.

  14. Reply අනුරාධ රත්නවීර Jan 31,2009 7:56 pm

    මහින්ද රාජපක්ෂ ජනපති තුමා “නිදහසින්” පසු සිරිලකට බිහි වූ උසස් ම නායකයා බව යි මගේත් හැඟීම. වසර ගනනක් පුරා අපේ රට අස්ථාවර කිරීමට නොයෙක් රටවල් (දන්නෝ දනිති) උත්සාහ ගත් බව ද, ඒ සඳහා යුද්ධය දිග් ගැස්සීමට ඔවුන් නිතර ම උත්සාහ කල බව ද නොරහසකි. ඒ නිසා, සියල්ලට ම පෙර රෝග නිදානය නැති කිරීමට දෙස් විදෙස් බලවේග පරදවා කටයුතු කිරීමට එතුමා සුදුසු කාලයේදී ම පහල වීම අපගේ වාසනාවකි.

  15. Reply සාගර Jan 31,2009 8:09 pm

    @නිලන්ත, @මනොජ්,

    ඔබ මගේ එක් කමෙන්ට් එකක් දැක නැතුවා වගෙයි කතා කරන්නේ. මා එය නැවත උපුටා දක්වන්නම්.

    වසර දෙකක කාලය තුළ මහින්ද කළ හොඳ වැඩ කිහිපයක් මම දකිමි.

    1. LTTE විනාශ කිරීම (මෙය ත්‍රස්තවාදය විනාශ කිරීම ලෙස වරදවා වටහා ගත යුතු නැත.)
    2. පාලම් හැදීම.
    3. ජවිපෙ නැත්තටම නැති කිරීම
    4. ඉන්දියාව සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම

    අප එකඟ වන දෙවල් ගැන වාද කරන්න එපා. මා එරෙහි වන්නේ මහින්ද LTTE විනාශ කිරීම ගැන නොවෙයි. කවුරු කළත් LTTEය විනාශ කිරීම හොඳයි.(දෙමළ අහිංසකයන් නොමරා )මා එරෙහි වන්නේ මහින්ද දෙමළ ජනතාව අතරමං කිරීම ගැනයි. ඇයි අර කන්දක් විලිළා හදපු තිස්ස විතාරණගෙ යෝජනාවත් ක්‍රියාත්මක කිරීමට ඔහු මැළි වන්නේ?

    ඇයි අඩුම තරමේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ නීත්‍යානුකූලව දිය යුතු අයිතීන් තමන්ගේම ගෝලයා වන පිල්ලේයාන්ටවත් ලබා නොදෙන්නේ? මොකද්ද මේ සියලු බලතල තමා අතේ රඳවා ගනීමේ උන්මාදය?

  16. Reply සාගර Jan 31,2009 8:13 pm

    @අනුරාධ රත්නවීර,

    මොනවද මේ ‘නොයෙක් රටවල්’? ඇයි වහෙන් ඔරෝ කතාකරන්නේ? අපට කියන්නකෝ ඒ රටවල් ටික.

  17. Reply ප්‍රසාද් නයනජිත් Jan 31,2009 9:47 pm

    මම තවත් පැත්තක් ගැන කියන්නම්… අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වඩාත් අවධානය යොමුකරල තියෙන්නෙ රාජ්‍ය සේවය දියුණු කරන්න. පවුද්ගලික අංශය ගැන අවධායන යොමුකරල නැහැ. එතුමා ජනහමුවකදී කිවුවා “මට ඡන්දෙ දුන්නෙ ගමේ මිනිස්සුනෙ, ඒකනිසා මම ඒ අයට සහයෝගය දෙනව” කියල. ‍පවුද්ගලික රැකියා කරන අයට සහන නොදීම ගැන එක උදාහරණයක් කිව්වොත් රු.5ට තිබුනු Postage (සිංහල වචනෙ මතක නැහැ) රු.42.50 ‍වෙනකල් වැඩි කරා…

  18. Reply සාගර Jan 31,2009 10:52 pm

    ප්‍රසාද්, මා ඒකට තව ටිකක් එකතු කරන්නම්. ළඟදි TIME සඟරාව බරක් ඔබාමාගෙන් ප්‍රශ්න කළා, ඔබ දැන් රටේ ජනාධිපති. ඔබ මැතිවරණයට කලින් කීදේ ඒ විදිහටම කරනවද කියලා. ඔබාමා කිව්ව නැහැ; මේ රටේ 48%ක් මට විරුද්ධව ජෝන් මැකේන්ට ඡන්දය දුන්නා. ඒ කියන්නේ රටේ භාගයක් මගේ ප්‍රතිපත්ති වලට වඩා ඔහුගේ ප්‍රතිපත්ති අගය කළා. ඒ නිසා මගේ ප්‍රතිපත්ති වගේම මා අනුමත නොකළත් මැකේන්ගේ ප්‍රතිපත්ති කිහිපයක් වත් මා ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ජනතාවගේ කැමත්ත.
    රනිල් වික්‍රමසිංහ කොයි තරම් අදක්ෂයෙක්, විහිළුකාරයෙක් වුනත් මේ රටේ 49%ක් ඔහු ගැන විශ්වාසය තිබීම ගැන තර්කයක් නැහැ. ඒ පුද්ගලයා වශයෙන් නොව ප්‍රතිපත්තිමය වශයෙන්. මහින්ද හිතනවා නම් ඔහු 51%ක ඡන්දය ගත් නිසා ක්‍රියාත්මක කළ යුත්තේ ඔහුගේ ප්‍රතිපත්ති පමණයි ; සේවය කළ යුත්තේ ඔහුට ඡන්දය දුන් ජන කොටස් වලට පමණයි කියා ඔහු ඉතාම දුර්වල රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අපට අවශ්‍ය රටට මිස රටේ තෝරාගත් ජනකොටස් වලට සේවය කරන නායකයකු නොවෙයි.

  19. Reply නිලන්‍ත Jan 31,2009 11:21 pm

    සාගර කඩුව අතට අරගෙන වගේ. ඔබ ඔයතරම් වියරු වැටෙන්න මොකක් උනාද. ඒත් එක්කම ඔබ නිදහසට කරුණුත් එක්කරනව.(මා කළේ දෙමළුන්ට ප්‍රජාතන්තික අයිතීන් නොදිය යුතුය කියා මුග්ධ යොජනාවක් කළ ජාතිවාදියාට ඌනපූරණයක් සැපයීම පමණයි) නමුත් ඔබේ අදහසට ඉහලින් කිසිම තැනක දෙමල ජනතාවට ප්‍රජාතන්තික අයිතීන් නොදිය යුතුය යනුවෙන් කිසිම සඳහනක් නැති බව කිව යුතුය. ඇත්තේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විනාශ කලයුතු බවයි.
    මා ඔබට නැතත් මතක් කරන්නේ ලංකාවේ සමස්ත දෙමල ජනයාත් දෙමල ජාතිකයන්ගෙන් සැදුම්ලත් ත්‍රස්තවාදී සංවිධානයත් එකක් ලෙස පටලවා නොගන්නා ලෙසයි.
    LTTE සංවිධානය විනාශ කිරීම ත්‍රස්තවාදය විනාශ කිරීමක් නොවේය ලෙස ඔබ පුන පුනා කියන්නේ කුමන අරමුනකින්ද?
    ඒක ටිකක් අමුතු අදහසක් නැද්ද? අනික් අයට කියකියා ඔබත් වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නෙ LTTE සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවද?
    තවද මහින්ද දෙමල ජනතාව අතරමං කරන්නේ කෙසේද? LTTE සංවිධානය විනාශ කිරීම නිසාද? මේ රටේ ජනවාර්ගික ගැටළුව විසඳීමට හැකියාවක් මහින්දට නැති බව ඔබ කියයි. එසේනම් ඒ හැකියාව ඇත්තේ කාටද? රනිල් වික්‍රමසිංහටද, ප්‍රභාකරන්ටද, නෝර්වේටද, ඉන්දියාවටද. අපේ ප්‍රශ්නය අපිට විසඳාගත නොහැකිය යන හීනමානයෙන් ඔබ පෙලෙන්නේ ඇයි?
    අවසාන වශයෙන් මම උපතින්ම සිංහල ජාතිකයෙක්මි. එය මගේ වරදක් නොවන බව ඔබ පිලිගනු ඇතැයි සිතමි. එසේ සිංහල ජාතිකයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. ඒ ඔබ ගරහන ඒත් මුලු ලෝකයම පිලිගන්න අතීත රජ සමයේ සිංහල ජාතිකයන් ශ්‍රේෂ්ඨ ජාතියක්ව සිටි බැවිනි. එකී ශ්‍රේෂ්ඨත්වය යලි ලඟාකරගත හැකිනම් මම එයට කැමැත්තෙමි.
    තවත් පිරිසක් මා ඉපදුන සංස්කෘතිය අනුගමනය කරන මිනිසුන් ඒම වර්ගයේ ඉපදීම නිසාම ඝාතනය කරයිනම් ස්වභාවිකවම මම ඔවුන්ට විරුද්ධ වෙමි. එය ජාතිවාදයනම් සත්තකින්ම මම ජාතිවාදියෙක්මි.
    බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විනාශකරන මහින්ද රාජපක්ෂව අගය කිරීම ඔහුට කඩේ යෑමක් නම් සත්තකින්ම මම මහින්දට කඩේ යමි.

  20. Reply ප්‍රසාද් නයනජිත් Jan 31,2009 11:36 pm

    නිලන්‍ත, පුන පුනා LTTE සංවිධානය ගැන කතා කිරීමෙන්, බෙදුම්වාදය ගැන කතා කිරීමෙන් පලක් වෙන්නෙ නැහැ. හැමෝම පිලිගන්නවා රජය යුද්ධය අවසාන කරන බව. පුන පුනා කතා නොකර අනෙක් කරුණු ගැන කතා කළානම් හොඳයි නේද?

    සාගර, බැරුක් ඔබාමා 100%ක් නිවැරදි කතාවක් කරල තියෙන්නෙ. ඒ පිළිබඳ කිව්වට ස්තූතියි. නමුත් ලංකාවේ ඔයවැනි දේවල් සිද්ධවෙන්නෙ නැහැ. තමුන්ගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම විතරයි සිදුවෙන්නෙ. ඇත්තයට 49%ක් රනිල් වික්‍රමසිංහ පිළිබඳ විශ්වාසය තියල තියනව. ඒ කියන්නෙ ඔහු‍ගේ ප්‍රතිපත්ති පිලිගන්න ජන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වාගේම ජන්දය දුන් පිරිසට පමණක් සියළු දේ කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි…

  21. Reply manoj Feb 1,2009 12:01 am

    @ නිලන්ත

    “අවසාන වශයෙන් මම උපතින්ම සිංහල ජාතිකයෙක්මි. එය මගේ වරදක් නොවන බව ඔබ පිලිගනු ඇතැයි සිතමි. එසේ සිංහල ජාතිකයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. ඒ ඔබ ගරහන ඒත් මුලු ලෝකයම පිලිගන්න අතීත රජ සමයේ සිංහල ජාතිකයන් ශ්‍රේෂ්ඨ ජාතියක්ව සිටි බැවිනි. එකී ශ්‍රේෂ්ඨත්වය යලි ලඟාකරගත හැකිනම් මම එයට කැමැත්තෙමි.
    තවත් පිරිසක් මා ඉපදුන සංස්කෘතිය අනුගමනය කරන මිනිසුන් ඒම වර්ගයේ ඉපදීම නිසාම ඝාතනය කරයිනම් ස්වභාවිකවම මම ඔවුන්ට විරුද්ධ වෙමි. එය ජාතිවාදයනම් සත්තකින්ම මම ජාතිවාදියෙක්මි”

    මට හිතෙන්නේ ගොඩක් කාලෙකින් මගේ ජාතියේ එකෙක් හමුවුනා කියලයි.
    මේ වගේ කථාවක් බය නැතුව කරන්න පුළුවන් සිංහලයෝ තාම අපි අතර ඉන්නවා කියල දැනුනම හිතට ලොකු ශක්තියක්.

  22. Reply සාගර Feb 1,2009 1:15 am

    @නිලන්ත ,

    LTTE විනාශ කිරීම ත්‍රස්තවාදය විනාශ කිරීමක් නොව කල් දැමීමක් පමණකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳී තිබෙන තාක් කල් ත්‍රස්තවාදය පරාජය කරනු නොහැකිය. එහෙම කළ හැකිනම් හේතු ඵල වාදයත් බොරුය.

    අනෙක ඔබ කියන ආකාරයට LTTEය මිනිසුන් මැරුවේ ඔබ සිතන පරිදි ඔවුන් සිංහල වීම නිසා නොවේ. කිලිනොච්චියේ තිස් වසරකට වැඩි කාලයක් හිටි හිමි නමක් ගැන අප ඇසුවේ ඊයේ පෙරේදාය. සිංහල වීම නිසා කරදරයක් වූ බැව් උන්වහන්සේ කොතැනක වත් කියා තිබුනේ නැත. LTTE සිංහල, දෙමළ , මුස්ලිම් භේදයක් නැතිව නැතිව මිනිසුන් මරා දමා ඇත. අමිර්තලිංගම්ලා, තිරුචෙල්වම්ලා අතින් මියගියේ ඔවුන් සිංහල වීම නිසා නොවේ. LTTEයට තිබුනේ මූලික වශයෙන් ආණ්ඩු විරෝධයකි. එය සිංහල විරෝධයක් සේ පෙනුනේ ඔබේ ජාතිවාදී මනසටය. ‘බාල්දිය’ කියන්න කියා බැරි අය මැරුවේ කොළඹදී 1983දීය. (ඔබේ පියා දුරදිග සිතා නොබලා කුඩා දරුවකු මළමිනී බලන්නට ගෙනයාමෙන් සිදුව ඇති විපත කෙතරම්ද?)

    මහින්ද රාජපක්ෂට මේ ප්‍රශ්නය විසඳිය නොහැකි ඔහුට සිංහල ජාතිවාදී මානසිකත්වයෙන් මිදිය නොහැකි නිසාය. මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සිංහල දෙමළ ලෙස නොසිතා ජනවර්ග දෙකටම එකසේ සාධාරණය ඉටුකළ හැකි නායකයකුට පමණකි. කවදා හෝ එය කරනු ඇත්තේ ඉන්දියාවය. කවදාද මම නොදනිමි. අපට අවශ්‍ය නායකයින් මෙරටින් බිහිවී නැත්නම් අපට ඔවුන් ආනයනය කිරීමට සිදුවනු ඇත. යථාර්තය පිළි ගැනීම හීන මානයක් නොවේ.

    මහින්ද දෙමළ ජනතාව අතරමං කරන්නේ LTTE ය පැරදවීමෙන් නොව දෙමළ ජනතාවට දියයුතු නීත්‍යානුකූල අයිතීන් නොදීමෙනි. දෙමළ ජනතාව LTTEය නොවේයැයි පුන පුනා කියන ඔබ ඔවුනට ලැබිය යුතු අයිතීන් ල්බාදීමට ඔතරම් විරුද්ධ ඇයි?

    (මා මෙතැන කරන්නේ LTTEය ගැන කතාවක් නොවන බව දැන්වත් ඔබට අවබෝධ වීයැයි සිතමි. එනිසා ඔය LTTE යන වචනය පුන පුනා මැතිරීමෙන් පලක් නැත.අපි LTTE අමතක කර රට ගැන කතා කරමු.)

  23. Reply නිලන්‍ත Feb 1,2009 5:32 pm

    සැබැවින්ම මෙය අපේ සුදාරක සොයුරාගේ සටහනක් වුවද සාගර සමග මතගැටුමකට පැටලුන නිසා මෙම සටහනද ඔහුගේ මතය ගැනයි.
    “දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳී තිබෙන තාක් කල් ත්‍රස්තවාදය පරාජය කරනු නොහැකිය” යන ඔබේ කියමනට මම 100% ම එකඟ වෙමි. සැබැවින්ම එම කියමනේ එන “ත්‍රස්තවාදය” යන වචනයද එතැනට නොගැලපේ. එයින් දෙමළ ජනතාව සිය ප්‍රශ්න ගැන කතා කලහොත් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන බවක් කියවේ. මම කිසිලෙසකවත් තමන්ට වෙන අසාධාරනයක් ගැන හඬනගන්නන් ත්‍රස්තවාදීන් යැයි නොකියමි. නමුත් දැනට පවතින යුද්ධයේ අරමුන එය යැයි ඔබට සහතික කල හැකිද? මේ යුද්ධය ආරම්භයට හේතුව දෙමල ජනයාට වු අංකොං පැම බව නොරහසකි. එයට 1983 ජූලි හොඳින් පොහොර සැපයුවේය. නමුත් ප්‍රශ්නය ඇත්තේ දැන් පවතින සිවිල් වැසියන් ඝාතනය(මාගේ ජාතිවාදී දෘෂ්ඨියෙන් බලන විට අති මහත් බහුතරය සිංහලයන්ය) සහ රාජ්‍ය දේපොල විනාශ කිරීමයි. රාජ්‍ය දේපොල යනු චන්ද්‍රිකාවත්, රනිල් වත් මහින්දවත් ගෙදරින් ගෙන ආ දේවල් නොව රජයට බදුගෙවන සියලු ලංකාවාසීන්ගේ දේපොලයි. එවැනි විනාශකාරී කල්ලියක් ත්‍රස්තවාදීන් ලෙස කිසිම සැකයක් නැතිව හැඳින්විය හැක. මහින්දට මෙම ගැටළුව විසඳීමට හැකියාවක් නැතැයි කිසිවෙකුටත් අනාවැකි කිව නොහැක. ඒ ඔහු දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ත්‍රස්තවාදයක් වු දා පටන් කිසිම නායකයෙකුට කිරීමට නොහැකි වු වැඩ කොටසක් එම ත්‍රස්තවාදය පරාජ කිරීමට කල බැවිනි. එමෙන්ම යලිත් වර්ගවාදී මූලබීජයක් ලංකාව තුල වර්ධනය වීමට ඉඩනොදීමට සැමට රිසිසේ එක්සත් රටක් තුල ජීවත්වීමට කටයුතු සලසනු ඇතැයි මගේ හැඟීමයි.තැතහොත් ඔහුගේ මෙම වෑයම අරථශූන්‍ය වේ. ලංකාවේ මුල් පුටුවට නැඟීමට මොලයක් තිබූ ඔහුට ඔබටත් මටත් වඩා ඒ ගැන දැනීමක් ඇතැයිද මම සිතමි.

    තවද දෙමල ජනයාට ලංකාව තුල ලබා නොදී ඇති හිමිකම් මොනවාදැයි මගේ සිතට නම් නොනැඟේ.ඉන්දියාවට ලංකාවේ ප්‍රශ්නය විසඳීමට භාර දුනහොත් තවත් කාෂ්මීරයක් ලංකාවේද ඇතිකරනු ඇත. තමන්ගෙ ඇහේ පොල් පරාලයක් තියෙද්දි අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද අරංදාන්න ඉන්දියාවට පුලුවන්වෙයි කියල මමනම් හිතන්නෑ.

    @ප්‍රසාද් නයනජිත් + සාගර
    දැනට පවතින තත්වය අනුව LTTE සංවිධානය මගහැර ලංකාව සහ මහින්ද රාජපක්ෂ ගැන කතාකිරීම අර්ථයක් නැති බවයි මගේ හැඟීම. ඔබ කියන පරිදි ඔහු සුද්ද හදපු පාරවල් වලට තාර සහ කොන්ක්‍රීට් දැමීම සහ පාලම් හැදීම ඇරෙන්න කරපු ප්‍රධාන වැඩේ ත්‍රස්තවාදය විනාශ කිරීම ලෙස වරදවා වටහා ගත යුතු නැති LTTE විනාශ කිරීමනෙ. ඉතිං ඒගැන ඇරෙන්න වෙන මොනව කතා කරන්නද

    නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? යන්න සුදාරකගේ මෙම කතිකාවතේ මාතෘකාව බවත් ඔබ දෙපොලටම මතක් කරන්න කැමතියි.

  24. Reply Buddhika Nishanthi Feb 4,2009 3:39 pm

    Thanks very much.oyage blog eka very beautiful.oya harima dakskai.oll the best.Buddika

  25. Reply Brave Heart Feb 8,2009 6:42 pm

    Me BLOGS kiyewwata passe mata nam hithenee Hungak denekuta thamange pakse amathaka karala rata gane hithanne bari wena eka gana matanam kanagatui. Oya wage aye Ipdenne thibbe INDIA wala. ehenam jathikathwaya nathi ayata honda sembuwak hamba wei. KOHOMATH ITHIN RATA GANA HITHENNE KOHOMADA daruwek nathi WIPAKSE NAYAKEYEK inne rate!

  26. Reply අමල් ඉෂාන්ත Feb 11,2009 3:33 pm

    හරියටම ස්ථීර කරගන්න නම් තව කාලයක් බලන් ඉන්න වෙනවා. මොකද උතුරු නැගෙනහිර ගැන අනාගතයේදී මහින්ද ගන්න තීරණ මත තමා ඔහුගේ නම රඳා පවතින්නේ.
    @ සාගර
    ඔය බණ්ඩාරගම සංවිධායකතුමා නේද?
    මොකෝ රනිල් එපාම වුනාද?

  27. Reply අනුරාධ රත්නවීර Feb 11,2009 4:02 pm

    දෙමළ ජනතාවට ඔය කියන විදියේ ගැටළුවක් නෑ. අපේ අසල් වැසියන් දෙමළ, අප බොහෝ ම සමගියෙන් ජීවත් වෙන්නේ. සිංහළ පෙරහැරට දෙමළ අය එනවා, දෙමළ දෙවි පෙරහැරට අපත් යනවා.

    නැති ගැටළු ඇති කර අපව බේද බින්න කිරීමට ගත් උත්සාහයන් සරු වී ඇති බව නම් මේ ලිපියට ලියා ඇති පිළිතුරු බැලීමෙන් ම පෙනේ. සමහර අය ගැන නම් අනුකම්පා ද සිතේ. 😉

    මහ ජාතිය, සුළු ජාතිය නෙවෙයි, ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලාංකිකයන් පාලනය කිරීම නොවේ ද දැන් සිදු වන්නේ? “ජාතීන්” විතර ද “සුළු” වෙන්නේ? අංග විකළ අය, උපාධිධාරීන්, විශ්‍රාමිකයින් වැනි මෙකී නොකී නොයෙක් කණඩායම් වලට අපි “සුළුතරය”, අපව “බහුතරය” පාලනය කරන බව කියන්න පුලුවන් නේ ද? ඒ සියළු සුළුතර කොටස් වලට ස්වයං පාලන පෙදෙස් ලබා දිය යුතු ද?

    පිටකොටුවේ වෙළෙඳ සැල් හිමියන්ගේ අනුපාතය දිහා බැලුවොත් හිතා ගන්න පුළුවන් තියෙන්නේ ගැටළුවක් ද කියලා. 😉

  28. Reply දිනේෂ් Feb 18,2009 6:30 pm

    මට හිතාගන්න බැරි ,ඇයි සමහර අයට දෙම්ළුන්ට වත් නැති කරුණාවක් දෙමළුන්ට තියෙන්නෙ කියලා.LTTE එක නෙවෙයි සිංහල ත්‍රස්තවාරදී කන්ඩායමක් හිටියත්‍ කරන්න වෙන්නේ අද ජනාධිපති තූමා කරන වැඩපිලිවෙලම තමයි.එක්කෝ යටත් වෙන්න කියන එක එහෙමත්බැරිනම් සමූලඝාතනය.
    දෙමල අයට මොකක් ද අද තියන ප්‍රශ්නය????( LTTE එක හිටියෙ නැතිනම්)?? ඇයි අපි සිංහල අයගේ හිත් ඇතුලේ මොකක් හරී තරහක් තියනවද? මොකටද?
    මම හිතන්නේ අපිට ජාතියක් එක්ක තරහක් තිබුනේ සුද්දන් එක්ක,උන් අපේ සංස්කෘතිය බාල්දුකරා , හාමුදුරුවරුන්ට තියන තැන නැතිකරන්න වැඩ කරා..
    මම දන්නේ නෑ මහින්ද රාජපක්ෂ ලංකාව සංවර්ධනය කරයිද නැද්ද කියල,ඒත් අපි ත්‍රස්තවාරදී කන්ඩායමකට අපේ රටේ කෑල්ලක් අල්ලගෙන ඉන්න දෙන්න බෑ…දුටුගැමුණු රජ කාලෙත් එහෙමමයි,අදත් එහෙමම තමයි.
    දෙමල අයට ප්‍රශ්නයක්තියනවන්නම් ඒ ප්‍රශ්නම මුස්ලිම් අයටත් තියෙන්න ඕනෑනේ..මටනම් තාම හොයාගන්න බැරිවුනා ඔය ප්‍රශ්න.දක්ෂ කමක් නැතිනම් රස්සාවල් හම්බ වෙන්නෙනෑ,හැකියාව නැතිනම් ක්‍රිකට් ටීම් එකට යන්න බෑ.ඒවා අපිටත් පොදුයිනේ…

    කොහොම උනත් ටිබෙට යේ ඉදල ලංකාවට ආපු එස් මහින්ද හිමිට අපිට වඩා අපේ ජාතිය,රට,ආගම ගැන කැක්කුමක් තිබ්බ බව කියන්න පුලුවන්.
    =විවාදයකට දුඩුදෙන ඇත්‍තක් කියන්න කැමතියි.=

    අනික මේ ලංකාව බහුජාතික රටක් නෙවෙයි.මේකෙ සිංහල රටක්.අනිත් ජාතිත් එකට ජීවත් වෙනවා.එච්චරයි.
    මට කියන්න බහුජාතික රටක් වෙන්න සම්පූර්නකලයුතු අවශ්‍යතාවන්?
    ලංකාවේ 70%විතර සිංහල…අනිත් බහුජාතික නොවන රටවල වෙනත් ජාතීන් ඇත්තෙම නැත්ද??? ඇමරිකාව,බ්‍රිතාන්‍ය වගේ රටවල..

    දිනේෂ් -රාජපක්ෂ (මහින්දගේ කවුරුවත් නෙවෙයි ;-()

  29. Reply චතුර නිර්මාල් Feb 28,2009 12:58 pm

    සුදාරක මල්ලි..මම 98% කින් එකගයි

Leave a Reply

%d bloggers like this: