මියැසී මීරාවය 2008 4

සතියක දෙකක විවේකයෙන් පස්සේ ආපහු බ්ලොග් එකට ලියන්නයි මේ හදන්නේ. මේ දින ටිකේ මුකුත් ලියලා තිබ්බේ නැති නිසා වැඩි දෙනා කියවන්න ඇවිල්ලා තිබ්බේ නැ. මේ දවස්වල ලියන්න බැරිවෙච්ච හේතුව මොකක්ද කියලා නම් මටත් හිතාගන්නඅ අමාරුයි. (එක්කෝ බ්ලොග් අඩස්සිය, එහෙමත් නැත්නම් සා‍.පෙ පීඩනයද දන්නේ නෑ 🙂 ) මේක ලියන්න හිතුනේ ඊයේ තිබ්‍බ අපේ නේවාසිකාගාරේ 11ශ්‍රේණියේ සහෝදරයින් සංවිධානය කරලා තිබ්බ මියැසී මීරාවය සංගීත ප්‍රසංගය දැක්කාට පස්සේ. (මේ සංගීත ප්‍රසංගය ගැන ඔබව කලින් දැනුවත් කරන්න බැරිවෙච්ච එක ගැන සමාවෙන්න ඕනේ) පිළිවෙලකට කතාව කියන්නම්කෝ ඉතින්…,

2002 ශිෂ්‍යත්වේ සමත් වෙලා තිස්සමහාරමෙන් කොළඹට ආවේ රාජකීය විද්‍යාලයට. ඇවිල්ලා රාජකීය විද්‍යාලය ඇතුලේ ඇවිදිනකොට දැනුනේ පුදුම අමුත්තක්. ලොකු ලොකු බිල්ඩින් දැක්කම පුදුමත් හිතුනා. තිස්සමහාරාමේ ඉඳලා ආවාට මොකද එකපාරටම ‍හොස්ටල් එකට ඇතුල්වෙන්න බැරිවුනා, හොස්ටල් එකට ඇතුල් කරගත්තේ ළකුණු 173න්. ඒත් මට තිබ්බේ ළකුණු 172 (නයි අරිනවා නෙවෙයි හොඳේ… මේ කතාව කියන්න එපැයි කොහොමහරි) ඒක නිසා ආපු මුල් මාසේ නතර වෙන්න වුනේ අපේ අම්මත් එක්ක එකට විශ්ව විද්‍යාලේ ඉගෙනගත්තු යාලුවෙකුගේ ගෙදර හොඳ වෙලාව‍ට එයාගේ පුතත් ශිෂ්‍යත්වෙන් රාජකීය විද්‍යාලයට තේරිච්ච නිසා අපි දෙන්නටම පුළුවන් වුනා එකටම පාසලට එන්න. අම්මාගේ මහන්සිය නිසාම කොහොමහරි ඇවිල්ලා මාසයක් ඇතුලතම නේවාසිකා‍ගාරෙට ඇතුල් වෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ආපු මුල් දවසේ හරියට ඉන්න තැනක් තිබ්බේ නෑ. මොකද කියනවානම් අපි හිටපු සයනාගාරයේ කට්ටිය පිරිලා නිසා මට ඉන්න වුනේ මුල්ලකට වෙලා ඇඳක් දාගෙන එදා නිදාගන්න ගියාම තමයි රඟේ දැනුනේ. දාඩිය දානවා හෝ ගාලා නින්ද යන්නෙත් නෑ. නිදාගන්න බෙල් එක ගහපුවාට පස්සේ ආපහු එලියට යන්න, ඇවිදින්න කරන්න බැරිනිසා මට නම් ඒ වෙලාවේ අපේ භාෂාවෙන් කියනවානම් පුෂ්පේ පැනලා තිබ්බේ… 🙂 ආපු මුල් දවස් ටිකේ එහෙම වුනාට පස්සේ පස්සේ පුරුදු වෙන්න ගත්තා. ටික දවසකින් කට්ටිය වැඩි වෙච්ච නිසා පස්සේ ආපු අයට වෙනම කාමරයක් ලැබුනා. ඒ කාමරේ තමයි නියම තැන. ටික දෙනෙක්ටම වෙන් වෙච්ච කාමරයක් වුනාට අපේ ලොකු සයනාගාරයේ හිටපු ගොඩක් දෙනා දවල් වෙලාවට හිටියේ අපි හිටපු කාමරේමයි. ඉතින් කතාවක් දාගෙන, සෙල්ලම් ක‍රගෙන පුදුම විනෝදයකින් තමයි අපි හිටියේ. සති අන්තේ කොළඹට ළඟ ඉන්න අය ගෙවල් වලට ගියත් මං වගේ දුර පළාත්වල අය නම් ගියේ නැති නිසා අපි ඔක්කොම අය ගිහපු හිස් ඇඳන් එකතු කරලා එක ඇඳක් හදාගෙන ඒක උඩට වෙලා කතාකර කර තමයි නිදාගත්තේ. ඔය අතරේ හිටියා ගොඩක් ගම්බද පළාතකින් ආපු කෙනෙක්. එයාලගේ පැත්තේ ගොඩත් ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන එහෙම විශ්වාස කරනවා. ඉතින් එයත් අපිට ඒ පළාතේ තියෙන තොවිල් පවිල් ගැන විස්තර කරන‍කොට කට ඇරගෙන අහගෙන ඉන්නවා. සමහරු නම් බය නිසා ඒ වෙලාවට හොඳට ‍රෙදි පොරවගෙන නිදාගන්නවා.

ඔය කාලේ අපේ හතුරෝ තමයි 7වසරේ අයියලා සෙට් එක. ඒ කාලේ නීති එහෙම ගොඩක් තදයි. නීති ගැන පොඩ්ඩක් කියනවානම් වයසින් වැඩි අයියලාට අත පස්සට දාලා තමයි කතා කරන්න ඕනේ (අර පහසුවෙන් ඉන්නවා ව‍ගේ අත් පස්සට දාගෙන) ඒ කාලේ ලොකු අය ඒ අයගේ හයිය පෙන්නත් එක්ක පොඩි එවුන්ට ගහනවා. හැබැයි වැරැද්දක් කරොත් තමා. ඔය කාලේ අපේ 7වසරේ අයියලා අපිට නීති කියලා දෙන්න එනවා. අපිත් ඉතින් අහගෙන ඉන්නවා. මුලදී වැරැද්දක් වුනොත් ඉතින් කරන්නේ බනින එක තමයි. පස්සේ වැඩේ දරුණු වුනා. අයියලා ටික දරුණු වෙන්න ගත්තා. මොකක්හරි වැරැද්දක් වුනොත් ඉතින් කන හරහා කනේ පාරක් වදින එක ෂුවර් වුනා. ඉතින් අපේ ශ්‍රේණියේ අයට මේක විඳගෙන ඉන්න බැරිවුනා. මේක නිසා කට්ටයම සෙට් වෙලා රහසින් සාකච්ජා කරගත්තා. අයිය‍ලා ගැහුවොත් අපිත් රිටන් එක දෙන්න ගහනවා කියලා. අපි ඔක්කොම පෙත්සමක් අත්සන් කරලා ගිහිල්ලා මුලින් නේවාසිකාගාර පාලකතුමාට කිව්වා, අපිට පොඩි වැරැද්දකටත් ගහනවා අරකයි මේකයි කියලා. මේක නිසා අපේ නේවාසිකාගාර පාලක තුමා අපි කියපු අයියලා ගෙනැල්ලා දඬුවම් කරලා තිබ්බ නිසා අයියලා තවත් දරුණු වුනා. රෑ කෑමෙන් පස්සේ දිගට හරහට අපිට රැස්වීම් තියන්න පටන්ගත්තා. කොහොමහරි අපි රහසින් සාකච්ජා කරා කියලා මේ අයට ආරන්චි වෙච්ච නිසා වැඩේ දෙල් වුනා. බලාගෙන යනකොට අයියලාට ඔත්තුව දීලා තියෙන්නේ අපේ ව‍යසේම කෙනෙක්නේ. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා එයාව කොන් කරන්න ගත්තා. කට්ටියගේ තිබ්බ එකමුතුවත් එන්න එන්න වැඩිවුනා (මේ එකමුතුකම තමයි අපේ සේරම වැඩ සාර්ථක වෙන්න ‍හේතුව වෙන්න ඇත්තේ කියලා තමයි දැන්නම් හිතෙන්නේ.) කොහොමහරි 7වසරේ අයියලාගේ බලපෑම අඩුවුනා ඊළඟ අවුරුද්දේ. ඒ අය 8වසරට ගියාම හිටියේ අපි ඉන්නවාට වඩා ‍ටිකක් දුරින් තිබ්බ සයනාගාරෙක. ඒ පාර අපිට ඊට පස්සේ තවත් පරාලයක් වැටෙන්න ගත්තා. ඒ තමයි ඒ වෙ‍නකොට 11වසරේ හිටපු අයියලා සෙට් එක. රෑට රෑට කට්ටිය රැස්වීම් තියලා ඉවරවුනාට පස්සේ ගොඩක් අය සයනාගාරෙට ආවේ අඬාගෙන තමයි එන්න වුනේ. මේකටත් අපි ගත්තේ කළින් ගත්ත ක්‍රියාමාර්ගේම තමයි. ඒක නිසා වැඩේ ගොඩක් දරුණු වුනා. මොකද 11කියන්නේ නේවාසිකාගාරේ ඉන්න වැඩිමහල්ම අය. ඒක නිසා අපිට සෑහෙන්න දුකක් විඳින්න වුනා. ඔන්න ඔය අතරේ අපේ හිටපු 7අයියලා ටික ඒ කියන්නේ මේ වෙන කොට අටේ අයියලා එක්ක එකො‍ළහේ අයියලා ටික කොක්කක් දාගත්තා. වැඩේ දුරදිග ගියා. අන්තිමේ වුනේ 11ශ්‍රේණියේ අයියලාගෙන් භාගයකටම විතර නේවාසිකාගාරෙන් අයින් වෙන්න වෙච්ච එක. කොහොම කොහොමහරි ටිකෙන් ටික දරුණු ගති හොස්ටල් එකෙන් අයින්වෙන්න ගත්තා. එක ශ්‍රේණිකට විතරක් වෙලා තිබ්බ සහෝදරයත්වය, ශ්‍රේණි, ශේණි අතරත් ගොඩනැගෙන්න ගත්තා. කොහොමහරි අපි පාදුක්කේ පදිංචි වෙච්ච නිසා 9වසරේදී මම ‍හොස්ටල් එකෙන් අයින් වුනා. 9වසරේදී මං විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් අයින් වෙලා තම තමන්ගේම ගෙවල්වල ඉඳලා එන්න හොස්ටල් එකට එන්න පටන්ගත්තා. මායි තව කිහිපදෙනෙක් නේවාසිකාගාරයේ අපේ සහෝදරයොත් එක්ක මිත්‍රත්වය තියාගෙන හිටියත්, තවත් කිහිපදෙනෙක් නේවාසිකාගාරය සහමුලින්ම තමන්ගේ ජීවිතයෙන් ඉවත්කරගෙන ඔවුන්ගේ මිත්‍රකම් පාස‍ලේ අනිත්අයත් එක්ක විතරක් තියාගත්තා…

2008 අවුරුද්ද ලැබුවාම කාගෙ කාගෙත් වැඩ වැඩිවෙන්න ගත්තා. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ නිසා හැමෝම වෙන වැඩ වලින් අයින් වෙලා පාඩම් කටයුතු වලට හිත යොමු කරත් අපේ නේවාසිකාගාරේ සහෝදරයින්ට නම් සම්ප්‍රදානුකූලව පවත්වාගෙන ආපු මියැසි මීරාවය අභියෝගයට කරගහන්න වුනා. නේවාසිකාගාරේ පැත්තෙන් ගිටාර් සද්ද, බෙර සද්ද ඇහෙන්න ගත්තා.‍ මේ වෙලාවේ අමතක කරන්න බැරි එක චරිතයක් තියෙනවා. ඒ තමයි වර්තමාන නේවාසිකාගාර පාලක තුමා. එතුමාගේ සහයෝගය නොලැබුනානම් මෙවර මියැසි මීරාවය කියන්නේ. සිහිනයක්ම විතරක් වෙන්න තිබුනා. මීට අවුරුදු කීපයකට කලින් රාජකීය විද්‍යාලයේ තිබ්බ විශාලතම වින්දනාත්මක ඉසව්ව වුනේ නේවාසිකාගාර දිනයයි (Hostel Day) ඒත් මුදල් සො‍යාගැනීම, නේවාසිකාගාර ශිෂ්‍ය නායක ඝණ පූරණය ඇති අඩුපාඩු නිසා මේ වසර කීපය පුරාවටම ‍Hostel Day එක පැවැත්වූයේ නෑ. ඒක නිසා ඒ අඩුව පුරවන්න නේවාසිකාගාරයේ පොඩි ඉසව්වක් වෙච්ච මියැසි මීරාවය සංගීත ප්‍රසංගය ඒ තිබ්බ තැනින් උස්සලා ගන්න සිදුවුනා. ඒකේ උච්චතම අවස්ථාවක් විදිහට මෙවර මියැසි මීරාවය ප්‍රසංගය දැක්විය හැකියි. මෙවර ගොඩක් දෙනෙක් අපේ 11 සහෝදරයන්ට දායකත්වය දැක්වූවා. ඒ එක්කම අපේ සංගීත ගුරුවරු වෙච්ච අශෝක පුෂ්පකුමාර ගුරුතුමායි, ලයනල් බණ්ඩාර ගුරුතුමාගෙනුයි ලැබුනේ පුදුම සහයෝගයක්. දිවා රෑ නොබලා අපේ සංගීත කණ්ඩායමේ සහෝදරයන්ට පුහුණු කරවීමේ කාර්යය භාරගෙන මේ ‍මියැසි මීරාවයේ ගුණාත්මක බව වැඩිකරන්න ඔව්ගෙන් විශාල දායකත්වයක් ලැබුනා. හැබැයි දුකට හේතුවකුත් තියෙනවා නිදහස් අදහස් බ්ලොග් එකේ මේ සටහනට මා එකතු කරපු ප්‍රතිචාරයට Dili දැක්වූ ප්‍රතිචාරය සහතික ඇත්ත. අපිත් එක්ක එක බත් එක බෙදාගෙන කාලා, නේවාසිකාගාරෙන්, අපෙන් අයින් වෙලා ගියපු ටික දෙනෙක් මේ අපේ සහෝදරයෝ නේද කියලා වත් හිතුවේ නෑ. අඩුගානේ බලන්න වත් ආ‍වේ නෑ. මේ ගැන දැන් නේවාසිකාගාරේ ඉන්න අය ගොඩක් දුක් වුනා. මම නම් පාදුක්කේ ඉඳලත් බලන්න ගියා. ඊයේ රෑ නැවතිලා අස්පස් කරන්න උදව් වෙලා අද උදේ තමයි ගෙදර ආවේ. අද ඉස්කෝලේ යන්න බැරි වෙච්ච පාඩුව ඊයේ හිතට ලැබිච්ච සතුටෙන් මැකිච්ච එක ලොකු දෙයක්.‍ කොහම වුනත් ඔහොම තමයි. එක එක අය එක එක විදිහයි.

අද සටහන දිග වැඩිද මන්දා. මේක ලිව්වේ කලින් ලියන්න බැරි වෙච්ච ඒවාටත් එන්න හිලව් වෙන්නයි… 🙂 එහෙනම් අදට මෙච්චරයි. නැවත වතාවක් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු…

4 thoughts on “මියැසී මීරාවය 2008

  1. Reply නිදහස May 31,2008 2:32 pm

    මියැසි මිරාවය කොහොමටත් හරි අගේ ඇති ප්‍රසංගයක්. අපේ සොහොයුරන්ගෙ දක්ෂකම් එලි දක්වපු වේදිකාව බවට ඒක පත් වුනා. අධ්‍යපනයට අමතරව බාහිර වැඩ වලත් යෙදිල ඉන්න එක ගැන මගේ සුප පැතුම්. කවද හරි හොඳට ඉගෙන ගෙන මොරටුවට ම එන්න ලැබවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ප.ලි
    දිලින කියපු කතාව වැරදියට ගණන් ගන්න එපා. අපි හැමෝම එකයි.

  2. Reply නිදහස May 31,2008 2:34 pm

    ඒක හරි අපූරු පරසංගයක්. මගේ සුබ පැතුම්

  3. Reply Dili May 31,2008 7:58 pm

    මම කියපු එකට හිත රිදුනා නම් සමාවෙන්න ඕනෙ සුදාරක. මට කියන්න උවමනාව තිබ්බෙ ඉස්‌කෝලෙ ඇතුලෙදි අපි ඔක්‌කොම එකයි කියල. වෙන මොනවත් නෙමෙයි. ඔයාටවත් වෙන කාටවත් දොසක්‌ කිව්ව නෙමෙයි. 🙂

    ලියවිල්ල නම් නියමයි. බලන්න තිබුන නම් ආසයි. හොදට කළා කියල මම දන්නවා.හැමදාමත් ඔහොම ආඩම්බර වෙන්න පුලුවන් වැඩ කරන්න. ජයම වේවා.

    Comment පරක්‌කු වුනාට සමාවෙන්න ඕනෙ. ව්භාගයක්‌ මැද්දෙ ඉන්නෙ. දැන් ආපහු ගිරවා පාරක්‌ දාන්න දුවන්න ඔනෙ.

    🙂 ගිහින් එන්නං

  4. Reply admin Jun 1,2008 10:41 am

    නෑ Dili මම අදහස් කරේ ඔයා කියපු දේ භාගයක් ඇත්තයි. මොකද මේ පාර අපිත් එක්ක එකටම ඉඳලා නේවාසිකාගාරයෙන් අයින් චෙච්ච දෙන්නෙක් විතරක් මේක බලන්න තියා වචනෙකින් වත් කිසිම සහයෝගයක් දුන්නේ නෑ. මේක නිසා ‍අපේ ‍හොස්ටල් එකේ අය ප්‍රසංගයෙන් පස්සේ කතාවුනා. ඒ අයට ගොඩක් දුක හිතුනා අර අය කරපු වැඩේට…

    ඕවා ඔහොම තමයි… Diliට විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනා මේ අතරේදීම.

Leave a Reply

%d bloggers like this: